ලක්ෂ අටක පෙළපොත් අතුරුදන් වෙලා? 

ලක්ෂ අටක පෙළපොත් අතුරුදන් වෙලා? 

August 14, 2026   12:29 pm

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කෙරුණු රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා පෙළපොත් සහ ක්‍රියාකාරකම් පෙළපොත් තොගයක් නිසි පරිදි බෙදාහැරීමේ මධ්‍යස්ථාන වෙත භාරනොදී ඇති බවට තලංගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරිනියක් විසිනි.

ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද පළමුවැනි ශ්‍රේණියේ දෙමළ ක්‍රියාකාරකම් සහ පෙළපොත් 19,892ක් නියමිත පරිදි බෙදාහැරීමේ මධ්‍යස්ථාන වෙත භාර නොදීමේ සිද්ධියක් පිළිබඳ තලංගම පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණේ පසුගිය 12 වැනිදාය.

අදාළ පොත් තොගය ප්‍රවාහනයට, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව ගිවිසුම්ගත ආයතනයක් වෙත රැගෙන යාමට පසුගිය මැයි 04 වැනිදා අවසර ගෙන තිබුණත්, එම පොත් බෙදාහැරීමට නියමිතව තිබූ නැගෙනහිර පළාතේ මධ්‍යස්ථාන 12කට නියමිත පරිදි ඒවා බෙදාහැර නොමැති බවත් පැමිණිල්ලේ සඳහන්ය.

මෙලෙස නියමිත පරිදි බෙදාහැර නොමැති බවට දැක්වෙන්නේ පළමුවැනි ශ්‍රේණියේ තුත්වැනි වාරයට අදාළ පොත් තොගයක් වන අතර එහි වටිනාකවම රුපියල් ලක්ෂ 8ක් පමණ වේ.

සිද්ධිය පිළිබඳ තලංගම පොලිසියෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.