දෛනික මෙහෙයුම් මගින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට
August 14, 2026 11:10 am
දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම් යටතේ ඊයේ (13) දිනයේදී පුද්ගලයින් 26,882ක් පරීක්ෂාවට ලක් කර ඇතැයි පොලීසිය පවසයි.
ඒ අනුව ඊයේ දිනයේදී එම පරීක්ෂාවට ලක් කර ඇති පුද්ගලයින් අතුරින් සැකපිට පුද්ගලයින් 527ක් සහ අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 26ක්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
තවද මෙම මෙහෙයුම යටතේ වරෙන්තුකරුවන් 126ක්ද අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇත.
එමෙන්ම බීමත් රියදුරන් 50ක් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් යටතේ පුද්ගලයින් 101ක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 4,316කට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද පොලීසිය කටයුතු කර තිබේ.
මේ අතර පොලීසිය විසින් ආරම්භ කර ඇති රටම එකට ජාතික මෙහෙයුම් මාලාව යටතේද ඊයේ දිනයේදී සැකකරුවන් 740ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, මත්ද්‍රව්‍යවලට ඇති ඉල්ලුම අවම කිරීම, මෙහෙයුම් පුළුල් කිරීම, ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීම, මත්ද්‍රව්‍ය දුර්භාවිතය වැළැක්වීම අරමුණින් මෙම මෙහෙයුම් මාලාව පසුගිය වසරේ ඔක්තෝබර් මස 30 වැනි දින සිට ආරම්භ කෙරිණි.
ඒ අනුව ඊයේ දිනයේදී මෙම සැකකරුවන් පිරිස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී එක් සැකකරුවෙකු වෙනුවෙන් නිතී විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කිරීමටද පොලීසිය කටයුතු කර ඇත.
තවද සැකකරුවන් 08 දෙනෙකු සඳහා රැඳවුම් නියෝග ලබා ගනිමින් ඉදිරි විමර්ශන පැවැත්වීමටද පොලීසිය කටයුතු කර ඇති අතර සැකකරුවන් 04 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමටද පියවර ගෙන තිබේ.
