බන්ධනාගාර තදබදය අවම කිරීමට පුනරුත්ථාපන වැඩසටහන් ශක්තිමත් කිරීම පිළිබඳ අවධානය
August 10, 2026 05:15 pm
ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීම සඳහා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමුව තිබේ.
එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව, පුනරුත්ථාපන කාර්යාංශය සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන මගින් පුනරුත්ථාපන කටයුතු ක්‍රියාත්මක කරන බව එම ආයතනවල නිලධාරීහු කාරක සභාව හමුවේ පැහැදිලි කළහ.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අධිකරණය මගින් වරදකරුවන් වූ රැඳවියන් 4,962 දෙනාගෙන් 1,506 දෙනෙකු සඳහා මේ වන විට පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සඳහන් කළහ.
අධිකරණ නියෝග මත යොමු කරන පුද්ගලයින්ට මෙන්ම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන රැඳවියන්ටද මෙම පුනරුත්ථාපන වැඩසටහන් ලබාදෙන බව ඔවුහු පැවසූහ.
කෙසේ වෙතත්, විවිධ නඩු සම්බන්ධයෙන් දඬුවම් විඳින සියලුම රැඳවියන් සඳහා පුනරුත්ථාපන අවස්ථා ලබාදීමට දැනට හැකියාවක් නොමැති බවද නිලධාරීහු කාරක සභාව හමුවේ පෙන්වා දුන්හ.
මේ අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් ඉන් මුදවා ගැනීම සඳහා අවශ්‍ය පුනරුත්ථාපන වැඩසටහන් පුළුල් කිරීමට පියවර ගෙන ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිලධාරීහු සඳහන් කළහ.
ඒ සඳහා අවශ්‍ය නිලධාරීන් බඳවා ගැනීම මෙන්ම දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පුනරුත්ථාපන වැඩසටහන් ශක්තිමත් කිරීම සඳහා සැලසුම් සකස් කර ඇති බවද ඔවුහු පැවසූහ.
පුනරුත්ථාපනය ලැබූ පුද්ගලයින් සමාජය තුළ පිළිගැනීම සහ එවැනි පුද්ගලයින් සඳහා යහපත් චරිත සහතික නිකුත් කිරීමේදී පවතින ගැටලු පිළිබඳවද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
එමෙන්ම, පුනරුත්ථාපන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ නීති හා රෙගුලාසි සංශෝධනය කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කර ඇත.
කාරක සභා සාමාජිකයින් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, මුජිබුර් රහුමාන්, එම්.කේ.එම්. අස්ලම්, ධර්මප්‍රිය විජේසිංහ සහ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම රැස්වීමට සහභාගි වූහ.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක්ද ඊට එක්ව සිටියහ.
