තරුණියන් තරුණයන්ව වරදට පොළඹවන ඔන්ලයින් ජාවාරමක්
August 8, 2026 12:17 pm
Facebook, Messenger, Instagram සහ WhatsApp යන සමාජ මාධ්‍ය ජාල යොදාගනිමින් මහා පරිමාණයෙන් සිදුකෙරෙන සංවිධානාත්මක කප්පම් ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) සමත්ව තිබේ.
ඉන්දියාවේ සිට මෙම ජාවාරම ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වී ඇත.
මෙම වංචනිකයන් අදාළ පුද්ගලයන් ගොදුරු කරගැනීමට පෙර, ඔවුන්ගේ සහෝදර සහෝදරියන් ඇතුළු ඥාතීන් සහ හිතවතුන් තම මිතුරු ලැයිස්තුවට එකතු කරගැනීමට පියවර ගෙන තිබේ.
ජාවාරමේ ආරම්භක පියවර ලෙස ප්‍රථමයෙන් Instagram හරහා සුරූපී තරුණියකගේ රූපයක් සහිත ගිණුමකින් 'Hi' යනුවෙන් කෙටි පණිවුඩයක් යොමු කෙරේ.
එම පණිවිඩයට ප්‍රතිචාර දක්වන පුද්ගලයන් පිළිබඳ අවධානයෙන් සිටින ජාවාරම්කරුවන්, දින කිහිපයකට පසු නැවත සංවාදයට පිවිසෙයි.
තරුණියගේ ඡායාරූපයේ සුරූපි බව නිසාම යළි ඔවුන් එම පණිවිඩයට ප්‍රතිචාර දැක්වීම සිදුකරනවා.
අනතුරුව තරුණියගේ නිරුවත් ඡායාරූප කිහිපයක් යොමු කරමින්, අනෙක් පාර්ශවයේ ද නිරුවත් ඡායාරූප හෝ WhatsApp වීඩියෝ ඇමතුම් හරහා දර්ශන ලබාගැනීමට ඔවුන් පොළඹවා ගනියි.
පසුව එම නිරුවත් වීඩියෝවල දර්ශන ලබාගෙන, ඒවා අදාළ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන්ට සහ ඥාතීන්ට යවන බවට තර්ජනය කරමින් කප්පම් ගැනීම සිදු කරන බවට අනාවරණය වී ඇත.
මේ හේතුවෙන් නොහඳුනන ගිණුම්වලින් හෝ අංකවලින් ලැබෙන කෙටි පණිවිඩ, මිතුරු ඇරයුම් සහ ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වීමේදී අතිශයින්ම සුපරීක්ෂාකාරී වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
