කුප්පියාවත්තේ වෙඩි තැබීමේ යතුරුපැදිකරු සහ තවත් අයෙකු මාට්ටු

කුප්පියාවත්තේ වෙඩි තැබීමේ යතුරුපැදිකරු සහ තවත් අයෙකු මාට්ටු

August 6, 2026   06:18 am

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු සහ තවත් අයෙකු බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

පසුගිය ජුලි මස 23 වන දින දෙමටගොඩ, කුප්පියාවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු සම්බන්ධයෙන් බොරැල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබුණි.

එහිදී ඊයේ (05) දිනයේ දී ලේක්ඩ්‍රයිව් ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 900ක් සමඟ 23 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරු වෙඩිතැබීමට පැමිණි යතුරුපැදිකරු ලෙස සිටි පුද්ගලයා බවට කරුණු අනාවරණය වී තිබේ.

මේ අතර ඔහු සමඟ බොරැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තවත් අයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මෙම අපරාධයට සම්බන්ධ වී ඇත්දැයි බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.