කටාන අනතුරෙන් පසුව කන්ටේනරයට ගිනි තැබූ තිදෙනෙක් අත්අඩංගුවට

කටාන අනතුරෙන් පසුව කන්ටේනරයට ගිනි තැබූ තිදෙනෙක් අත්අඩංගුවට

July 31, 2026   11:12 am

මීගමුව - මිනුවන්ගොඩ මාර්ගයේ යතුරුපැදිකරුවන් දෙදෙනෙකු අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව කන්ටේනර් රථයට ගිනි තබා අලාභ හානි කිරීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 20, 25 සහ 26 යන වයස් කාණ්ඩවල පසු වන මීගමුව දාගොන්න හා කිඹුලපිටිය ප්‍රදේශයේ පසුවන තිදෙනෙකි. 

සැකකරුවන් තිදෙනා අද (31) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

එම ප්‍රදේශයේ අතහැර ගොස් තිබූ තවත් යතුරුපැදියක්ද සොයාගෙන පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්වේ.

මීගමුව - මිනුවන්ගොඩ මාර්ගයේ 2 කණුවත් 3 කණුවත් අතර බොලවලාන ප්‍රදේශයේදී මාර්ගය හරහා හරවමින් තිබූ කන්ටේනර් රථයක ගැටී මීගමුව දෙසට වේගයෙන් ධාවනය කරමින් තිබූ යතුරුපැදි යුගලක ගමන්ගත් පැදිකරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට විය.

එම අනතුරින් මිය ගොස් තිබුණේ, අවුරුදු 18 සහ 20 වයසේ පසුවූ මීගමුව දාගොන්න ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙකි. 

අනතුර සිදුවූ ස්ථානය අවට ඇති CCTV දර්ශන ඇතුළු තොරතුරු මගින් කන්ටේනර් රථයට අලාභ හානි සිදුකිරීමට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදු කරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.