මෝදිගේ Facebook වීඩියෝව අවහිර කළ වරදට Meta සමාගම ඉන්දීය රජයෙන් සමාව අයැදී

මෝදිගේ Facebook වීඩියෝව අවහිර කළ වරදට Meta සමාගම ඉන්දීය රජයෙන් සමාව අයැදී

July 28, 2026   02:26 pm

ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ වීඩියෝවක් ෆේස්බුක් ඔස්සේ කෙටිකාලීනව අවහිර කරනු ලැබීම සම්බන්ධයෙන් මෙටා (Meta) සමාගම ඉන්දීය රජයෙන් සමාව අයැද තිබේ. 

ඉන්දීය මාධ්‍ය සඳහන් කරන ආකාරයට, මෙම වීඩියෝව ඉවත් කිරීමට හේතු වී ඇත්තේ තාක්ෂණික දෝෂයකි.

"මෙම අන්තර්ගතය වැරදීමකින් ඉවත් කර තිබූ අතර, දැන් එය යථා තත්ත්වයට පත් කර ඇත" යනුවෙන් මෙටා ප්‍රකාශකයෙකු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බව සඳහන් වේ.

අගමැති මෝදිගේ ෆේස්බුක් වීඩියෝව තාවකාලිකව අවහිර කිරීම සම්බන්ධයෙන් ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය විසින් මෙටා සහ ඉන්ස්ටග්‍රෑම් හි ගෝලීය ප්‍රධානීන් කැඳවා ඇති බව සඳහන්වේ.

ජූලි 23 වෙනිද‍ා උඩුගත කරන ලද මෙම වීඩියෝවෙන්, 'කොක්රෝච් ජනතා පක්ෂය' (CJP) විසින් සංවිධානය කරන ලද ශිෂ්‍ය විරෝධතාවක් අතරතුර අගමැති මෝදි 'Gen Z' (නව පරම්පරාව) තරුණ තරුණියන් වෙත පණිවිඩයක් ලබා දී තිබුණි.

ප්‍රශ්න පත්‍ර පිටවීම මැඩපැවැත්වීම සඳහා වඩාත් දැඩි ක්‍රියාමාර්ග රජය විසින් ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බව අගමැතිවරයා එහිදී තරුණ ප්‍රජාවට සහතික විය. 

සංශෝධිත දැඩි නීතිමය ක්‍රියාමාර්ගයන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම ඇතුළු දැඩි පියවර ගන්නා බව එහි ඔහු සඳහන් කර ඇත.