තමිල්නාඩු ප්‍රාන්ත බලය පෙරළීමේ කුමන්ත්‍රණයක් හෙළිවෙයි

තමිල්නාඩු ප්‍රාන්ත බලය පෙරළීමේ කුමන්ත්‍රණයක් හෙළිවෙයි

July 2, 2026   10:27 am

තමිල්නාඩුවේ ජෝසෆ් විජේගේ නායකත්වයෙන් යුත් 'තමිලග වෙට්ට්‍රි කසාගම්' (TVK) ප්‍රාන්ත බලය පෙරළා දැමීම සඳහා ක්‍රියාත්මක වූ බව කියන රහසිගත කුමන්ත්‍රණයක් හෙළිදරව් වීමත් සමඟ එහි දේශපාලන කරළිය තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ. 

සභා කතානායකවරයාට එරෙහි යෝජනාවකට සහාය දීම සඳහා උපදේශන ආයතනයක් විසින් තමන්ට ඉන්දීය රුපියල් මිලියන 350ක අල්ලසක් යෝජනා කළ බවට TVK පක්ෂයේ මන්ත්‍රීවරයෙකු කළ පැමිණිල්ලකට අනුව, චෙන්නායි පොලීසිය විසින් ඊයේ (01) පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් අයෙකු විපක්ෂයේ DMK පක්ෂයේ මන්ත්‍රී සෙන්තිල් බාලාජි සහ ඔහුගේ සහෝදරයා වන අශෝක් යන අයට සමීප අයෙකු බව වාර්තා වේ.  

දේශපාලන ආරංචි මාර්ග පවසන පරිදි, මෙම කුමන්ත්‍රණයේ අරමුණ වී ඇත්තේ විජේගේ පාලන බලය බිඳ දැමීම සඳහා TVK මන්ත්‍රීවරුන් 15 දෙනෙකු ලවා එකවර ඉල්ලා අස්වීමේ ලිපි ලබා දීමය. 

TVK මන්ත්‍රී එන්. ඉලෙයිරාජා වෙත අල්ලස් දීමට උත්සාහ කිරීමේ චෝදනාව මත බාලාජිගේ සහෝදරයා වන අශෝක්ට එරෙහිව මේ වන විට පොලිසිය විසින් මුල් තොරතුරු වාර්තාවක් ගොනු කර ඇත. 

ඒ අනුව මේ සම්බන්ධයෙන් TVK පක්ෂය විසින් DMK පක්ෂයට දැඩි ලෙස චෝදනා කරන බව ඉන්දීය පුවත් වාර්තා කරයි. 

පසුගිය දින 40ක් පුරා ඔවුන්ගේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුටම DMK පක්ෂයෙන් බලපෑම් එල්ල වූ බව සඳහන් වේ.

තමිල්නාඩු අමාත්‍ය සහ ජ්‍යෙෂ්ඨ TVK නායක සී.ටී.ආර්. නිර්මල් කුමාර් ප්‍රකාශ කළේ, මන්ත්‍රීවරුන් මුදලට ගැනීමේ ජාවාරමේ නිරත වූ DMK පක්ෂය දැන් පොලිසියට "අතටම හසුවී" ඇති බවය. 

ඔහු සෘජුවම හිටපු මහ ඇමති එම්.කේ. ස්ටාලින් සහ විපක්ෂ නායක උදයනිධි වෙත චෝදනා කරමින් කියා සිටියේ මෙම අර්බුදය පිටුපස ඔවුන් සිටින බවය.

චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂයේ DMK සහ AIADMK පක්ෂ ප්‍රකාශ කරන්නේ, මහ ඇමති විජේ සිය පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවත්, එම අසාර්ථකත්වය වසා ගැනීමට TVK පක්ෂය පදනම් විරහිත චෝදනා එල්ල කරන බවත්ය.

AIADMK පක්ෂයේ නායක එඩප්පාඩි කේ. පලනිස්වාමි සිය X ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ, මැතිවරණයට පෙර විවේචනය කළ පක්ෂ සමඟ සන්ධානගත වෙමින් සහ අනෙක් පක්ෂවලින් මන්ත්‍රීවරුන් බිලිබා ගනිමින් TVK පක්ෂය සිදුකරන මෙම දේශපාලන සෙල්ලම තුළ ජනතා සුබසාධනය අමතක වී ඇති බවය.