මරණය පරදා ජීවිතය දිනූ හැටි - 11 හැවිරිදි දරුවා සහ බිළිඳා බේරාගත් සංවේදී මෙහෙයුම

මරණය පරදා ජීවිතය දිනූ හැටි - 11 හැවිරිදි දරුවා සහ බිළිඳා බේරාගත් සංවේදී මෙහෙයුම

June 28, 2026   02:52 pm

වෙනිසියුලාවේ සිදු වූ ප්‍රබල භූමිකම්පාවලින් සුන්බුන් වූ ගොඩනැගිලි අතර සිරවී සිටින පිරිස් බේරා ගැනීම සඳහා සහන කණ්ඩායම් මේ වන විටත් දැඩි පරිශ්‍රමයක යෙදෙමින් සිටියි.

භූමිකම්පාව සිදුවී දින තුනකට වඩා ගතවී ඇති බැවින් තවදුරටත් ජීවතුන් අතර සිටින අය සෙවීමේ බලාපොරොත්තු හීන වෙමින් පවතින අතර, මේ වන විට මියගිය සංඛ්‍යාව 1,430 දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය ජනවාරි මාසයේදී අමෙරිකානු විශේෂ බලකාය විසින් එරට ඒකාධිපති නායක නිකොලස් මදුරෝව අත්අඩංගුවට ගැනීමෙන් පසු දැනටමත් ආර්ථික හා දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටින වෙනිසියුලාවේ නගර රැසක ගොඩනැගිලි කඩා වැටී ඇති අතර, දස දහස් සංඛ්‍යාත පිරිසක් අතුරුදන්ව ඇත.

එමෙන්ම මිලියන සංඛ්‍යාත ජනතාවකට සනීපාරක්ෂක ඇතුළු මූලික අවශ්‍යතා නොමැති වීමේ අවදානමක් ද මතුව ඇති බව වාර්තා වේ.

විශේෂඥයන් පවසන පරිදි ස්වභාවික ව්‍යසනයකින් පසු මුල් පැය 72ක කාලය ජීවතුන් අතර සිටින අය සොයා ගැනීමට ඇති ඉතාමත් තීරණාත්මක සහ සීමිත කාල පරිච්ඡේදයයි.

ඉන් පසුව සිදු කෙරෙන සෙවීම් බොහෝ විට මළසිරුරු ගොඩගැනීමේ මෙහෙයුම් බවට පත්වේ.

කෙසේ වෙතත්, උතුරු වෙනිසියුලාවේ කරබල්ලේඩා ප්‍රදේශයේ සුන්බුන් අතරින් 11 හැවිරිදි පිරිමි ළමයෙකු දින 3කට පසු ජූනි 27 දා බේරා ගැනීමට සමත් ව තිබුණි.

එම මුදාගැනීමේ වීඩියෝවක් ද සමඟින් (X) සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් එරට අන්තර්වාර නායිකා ඩෙල්සි රොඩ්රිගස් ප්‍රකාශ කළේ, "සෑම ජීවිතයක්ම වෙනිසියුලාවට බලාපොරොත්තුවක්" බවය.

ජූනි 24 වනදා සිදුවූ භූමිකම්පා දෙකෙන් කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් තමන්ගේ දෑතින්ම ඉවත් කර තම ඥාතීන් සොයා ගැනීමට ප්‍රදේශවාසීන් දැඩි උත්සාහයක නිරත වන අයුරු දැකගත හැකිය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආධාර ප්‍රධානී ටොම් ෆ්ලෙචර් ප්‍රකාශ කළේ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි. ඔහුට අනුව 50,000කට අධික පිරිසක් අතුරුදන් ව සිටියි.

භූමිකම්පාවෙන් දැඩි ලෙස පීඩාවට පත් කරකාස් නුවරට උතුරින් පිහිටි ලා ගුවයිරා වෙරළබඩ ප්‍රදේශයේදී, රික්ටර් පරිමාණයේ 7.2ක සහ 7.5ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාව සිදුවී පැය 32කට පමණ පසු අලුත උපන් බිළිඳෙකු පණපිටින් බේරා ගැනීමට ප්‍රදේශවාසීහු සමත් වූහ. සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවක දැක්වෙන්නේ, පුද්ගලයෙකු එම බිළිඳා තම දෑතට ගෙන හඬා වැටෙන අයුරුයි.

එක්සත් ජාතීන්ගේ සංක්‍රමණ පිළිබඳ සංවිධානය පවසන්නේ පවතින දත්ත අනුව මිලියන 6.76ක පමණ ජනතාවක් මෙයින් පීඩාවට පත්විය හැකි බවය. ඔවුන්ට හදිසි නවාතැන්, පිරිසිදු ජලය, සනීපාරක්ෂක පහසුකම්, සෞඛ්‍ය සේවා සහ අත්‍යවශ්‍ය සහන ද්‍රව්‍ය අවශ්‍ය වනු ඇත.

එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තු අනුව භෞතික හානිය අමෙරිකානු ඩොලර් බිලියන 6.7ක් පමණ වේ. මෙය වෙනිසියුලාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට හයකට සමාන බව සඳහන් වේ.

වසර ගණනාවක ආර්ථික බිඳවැටීමෙන් සහ පසුගිය ජනවාරි මාසයේ අමෙරිකානු මැදිහත්වීමෙන් මදුරෝ බලයෙන් පහකිරීමේ දේශපාලන කැලඹීමෙන් පීඩා විඳි වෙනිසියුලානු වැසියන් රජය කෙරෙහි දැඩි කෝපයෙන් පසුවෙති.

එයට හේතු වී ඇත්තේ මුදාගැනීමේ කටයුතු සහ සහන කටයුතු නිසි පරිදි ක්‍රමානුකූලව සහ සංවිධානාත්මක බවකින් නොතිබීමය.

සිරුරු වේගයෙන් නරක් වෙමින් පවතින බැවින් අවමංගල්‍ය උත්සවයකින් තොරව සිරුරු ආදාහනය කිරීමට ද සිදුව ඇති බව වාර්තා වේ.

මේ අතර ස්වෙච්ඡාවෙන් සහන කණ්ඩායම් වලට සහයා වීමට එන පිරිසට අවසර පත්‍රයක් ගැනීමට සිදුව ඇති අතර එය ලබා දීමට ප්‍රමාදවන බවට එරට රජයට චෝදනා එල්ල වේ.

අන්තර්වාර නායිකා රොඩ්රිගස් පැවසුවේ තමන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සමඟ සාකච්ඡා කළ බවත්, සහන කටයුතු සඳහා සහයෝගය දීමට ඔවුන් එකඟ වූ බවත්ය. ඇමරිකාව විසින් පුද්ගලයින් 250කට අධික සංඛ්‍යාවකින් සමන්විත, සුන්බුන් අතර සිරවී සිටින අය සෙවීම සඳහා පුහුණු කරන ලද සුනඛයන් සහිත විශේෂ සහන කණ්ඩායම් තුනක් එවා ඇත. රටවල් 21ක් මේ වන විට සහන කණ්ඩායම් එවා ඇති බව වාර්තා වේ.

සියවසකට පසු වෙනිසියුලාව මුහුණ දුන් දරුණුතම භූමිකම්පාව මෙය වන අතර, එය සිදුවූයේ එරට දශකයකට වැඩි කාලයක් පැවති ආර්ථික බිඳවැටීම නිසා රෝහල් සහ පොදු සේවාවන් අඩාල වී මිලියන සංඛ්‍යාත ජනතාවක් රට හැර ගොස් ඇති පසුබිමකය. එමෙන්ම මදුරෝ බලයෙන් පහකර මාස හයක් ගතවන තැන තවමත් එරට පවතින්නේ අස්ථාවර දේශපාලන තත්ත්වයකි.

මීට පෙර මෙවැනිම ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවලින් 2010 ජනවාරි මාසයේදී හයිටි රාජ්‍යයේ 200,000කට අධික පිරිසක් ද, 2005 ඔක්තෝබර් මාසයේදී කාශ්මීරයේ 73,000ක් ද මියගොස් තිබුණි. මෙවර වෙනිසියුලා භූමිකම්පාවෙන් මියගිය අය අතර පෘතුගාල, ස්පාඤ්ඤ, බ්‍රසීල, චීන, චිලී, ඉතාලි සහ උරුගුවේ ජාතිකයන් ද සිටින බව වාර්තා වේ.