සයුරෙන් එතෙර
මැදපෙරදිග යුද උණුසුම පාකිස්තානයට බලපෑ හැටි
June 23, 2026 09:04 am
අමෙරිකා - ඉරාන යුද්ධයත් සමග මැදපෙරදිග කලාපයේ හටගත් දැඩි නොසන්සුන්කාරී වාතාවරණය පාකිස්තාන කොටස් වෙළෙඳපොළටත් විශාල බලපෑමක් එල්ලකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව වත්මන් මූල්‍ය වර්ෂය තුළ විදේශීය ආයෝජකයින් විසින් පාකිස්තාන කොටස් වෙළෙඳපොළේ පැවති අමෙරිකානු ඩොලර් බිලියනයකට අධික වටිනාකමකින් යුතු කොටස් විකුණා දමා ඇති බව නිල දත්ත සහ මූල්‍ය විශ්ලේෂකයෝ පෙන්වාදී තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය දර්ශකයන්හි පාකිස්තානයේ ශ්‍රේණිගත කිරීම් පහත වැටීමද මෙම දැවැන්ත ප්‍රාග්ධන ඉවත් කරගැනීමට හේතුවී ඇති බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වාදී ඇත.
පාකිස්තාන මහ බැංකුවේ නිල දත්තවලට අනුව, මෙම මුදල් වර්ෂයේ මේ දක්වා කාලය තුළ විදේශීය ආයෝජකයින් විසින් මිලදී ගෙන ඇති කොටස්වල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 298.3 ක් බවද පැවසෙයි.
නමුත් ඔවුන් විසින් විකුණා දමා ඇති කොටස්වල වටිනාකම ඩොලර් බිලියන 1.03 ක් තරම් ඉහළ අගයක් ගන්නා බවත් සඳහන්ය.
එවන් පසුබිමක් තුළ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් රජය මෑතකදී පාකිස්තානයේ ප්‍රධාන ආර්ථික ක්ෂේත්‍රයන් වෙත විදේශීය ආයෝජන ආකර්ෂණය කරගැනීමට දැඩි උත්සාහයක නිරතවී සිටී.
