මාදැල් ධීවරයින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රයක
June 22, 2026 12:39 pm
සිය කර්මාන්තය කරගෙනයාමට අදාළව නිසි වැඩපිළිවෙළක් හෝ තීරණයක් මේ දක්වා ප්‍රකාශයට පත්නොකිරීම හේතුවෙන් මාදැල් ධීවරයින් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.
අද සහ හෙට දිනයන්හි අඛණ්ඩව එම ස්ථානයේම රැඳී සිටිමින් සත්‍යග්‍රහයේ නිරත වන බවත්, බදාදා දිනයේදී සාර්ථක විසඳුමක් නොලැබුණහොත් දිවයිනේ නන් දෙසින් තවත් ධීවරයන් 2,000කට අධික පිරිසක් මෙම විරෝධතාවයට කැඳවන බවත් සමස්ත ලංකා මාදැල් සංගමය වැඩිදුරටත් අනතුරු අඟවා සිටී.
සමස්ත ලංකා මාදැල් සංගමයේ ලේකම් ආර්. ඒ ඩිල්රුක් ප්‍රනාන්දු මහතා පැවසුවේ මීට පෙර අවස්ථාවක දින 9ක් පුරා සිදුකළ සත්‍යග්‍රහයකින් පසු, ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවකදී මාස එකහමාරක් හෝ දෙකක් ඇතුළත මේ සම්බන්ධයෙන් විසඳුමක් ලබා දෙන බවට පොරොන්දු වූ බවය.
එමෙන්ම එම පොරොන්දුව අනුව නාරා (NARA) ආයතනය ඇතුළු ආයතන එක්ව පසුගිය අප්‍රේල් මස 09 වැනිදා වන විට මුහුදු පතුල සහ වෙරළ ආශ්රිත ස්ථානීය පරීක්ෂණ අවසන් කර ඇතත්, මාස පහක් ගතවනතුරුත් මේ සඳහා විසඳුම් ලබා දී නොමැති බවද ඒ මහතා සඳහන් කර සිටී.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමස්ත ලංකා මාදැල් සංගමයේ ලේකම් ආර්. ඒ ඩිල්රුක් ප්‍රනාන්දු මහතා,
''අද වෙනකොට අපේ සමස්ත ධීවර ප්‍රජාවේ මාදැල් හිමියන් හාරසියකට වගේ ප්‍රමාණයක් දැන් මේ ස්ථානයට පැමිණිලා තියෙනවා. මේ දැන් අපි සාකච්ඡාවකට ගිහිල්ලා පැමිණියා. මං හිතන්නේ හෙට තව දෙදහක් විතර එන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. එතකොට ඒක වළක්වා ගැනීම මේ දෙන උත්තරත් එක්ක තමා වෙන්නේ. අපි දැන් මහජන අධ්යක්ෂ ජෙනරාල්තුමත් එක්ක සාකච්ඡා කරා. එතුමාගේ සාකච්ඡාවේදී අපිට තීන්දුවක් දුන්නා බදාදා වෙනකොට ජනාධිපතිතුමාගේ ලේකම්තුමත් සමග මේක සාකච්ඡා කරලා නියම පිළිතුරක් ලබා දෙනවා කියලා. හැබැයි මීට මාස පහකට ඉස්සෙල්ලා ජනාධිපතිතුමාම පෙබරවාරි මාසේ දහතුන් වැනිදා අපිට කිව්වා මාස දෙකක් ඔබතුමාලා ඉවසන්න. ඔබතුමාට අනිවාර්යෙන් මේක ලබාදෙනවායි කියලා. එතකොට අප්‍රෙල් මාසේ නමවෙනිදා වෙනකන් හිටියා.. ස්ථානීය පරීක්ෂණ කරලා අදට මාස තුනක් ඉවරයි. තාම මේක හම්බුන්නෑ. අපේ මේ වෙලාවෙත් විශ්වාසයක් තබනවා බදාදා වෙද්දී අපිට මේකට පිළිතුරක් ලබා දෙයි කියලා. ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි, ඒ ලේකම් මහත්තුරු අපිට මේකට විසඳුමක් ලබා දෙයි කියලා අපි විශ්වාසයක් තබනවා. අද යන්න බලාපොරොත්තුවක් නෑ. මොකද මාදැල් වැඩකරන ජනතාව සහ හිමියෝ ඔක්කොම කියනවා අද ඉන්න ඕන කියලා. අද හෙටයි ඉන්නවා ඒ කියන්නේ බදාදා විසඳුමක් ලබා දෙන තුරු අපි ඉන්නවා''
