FIFA ලෝක කුසලානයට ගිය ජර්මානු ක්‍රීඩකයින්ට මාරාන්තික අභියෝගයක්

FIFA ලෝක කුසලානයට ගිය ජර්මානු ක්‍රීඩකයින්ට මාරාන්තික අභියෝගයක්

June 18, 2026   08:41 am

FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී වී සිටින ජර්මානු ක්‍රීඩකයින්ට දැන් උපක්‍රම සහ ප්‍රතිවාදීන් ගැන පමණක් නොව, තවත් අමුතු ගැටලුවකට මුහුණදී සිටී.

ඒ අමෙරිකාවේ නෝත් කැරොලිනා ප්‍රාන්තයේ වින්ස්ටන්-සේලම් හි පිහිටි ඔවුන්ගේ පුහුණු කඳවුර අසල සිටි සර්පයෙකු හමුවීමත් සමඟයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ජර්මානු කණ්ඩායමේ නායක ජෝෂුවා කිමිච් කියා සිටියේ, තණකොළ අතරේ සැඟවී සිටින සර්පයන් පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි අවධානයෙන් පසුවන බවය.

ස්විට්සර්ලන්ත සහ නෝර්වේ කණ්ඩායම්වලින් ද මීට සමාන පැමිණිලි වාර්තා වී තිබේ.

විදෙස් මාධ්‍ය පවසන පරිදී කිමිච් ඇතුළු කණ්ඩායමට හමු වී ඇත්තේ නෝත් කැරොලිනා ප්‍රාන්තයේ බහුලව වෙසෙන, අධික විෂ සහිත සර්ප විශේෂයක් වන 'කොපර්හෙඩ්' සර්පයෙකි.

මීට අමතරව, ස්විට්සර්ලන්ත කණ්ඩායම ද තරගාවලිය ආරම්භ වීමට පෙර සැන්ඩියාගෝ හි පිහිටි ඔවුන්ගේ පුහුණු කඳවුරේ අවට ප්‍රදේශ "සර්පයන් ගැවසෙන කලාප"  ලෙස නම් කිරීමට පියවර ගෙන තිබූ බව වාර්තා වේ.

තමන්ට හමු වූ සර්පයා විෂ සහිත එකෙකු බව දැනගත් මොහොතේ සිට ක්‍රීඩකයින් අතර යම් නොසන්සුන්තාවක් ඇති වූ බව ජර්මානු නායක කිමිච් පවසා ඇත.

"අපි ඊයේ සර්පයෙක් දැක්කා. ඌ සෑහෙන්න විෂයි කියලා අපිට කිව්වා. සර්පයෙක් කෑවොත් කෙලින්ම හොස්පිට්ල් යන්න වෙනවා. මැරෙන එකක් නැති වුණත් ඒක සෑහෙන්න අනතුරුදායකයි. මට හිතෙනවා මේ වගේ සර්පයෙක්ව පෑගුණොත් ඒක ඉතාම අහිතකර විදිහට බලපායි කියලා," ඔහු සඳහන් කර තිබේ.

සිව් වතාවක් ලෝක ශූරයන් වූ ජර්මනිය මෙවර තරඟාවලිය ආරම්භ කළේ Curacao කණ්ඩායම 7-1 ක් ලෙස දරුණු පරාජයකට පත් කරමිනි.

ඔවුන්ගේ මීළඟ තරඟය ජූනි 21 වෙනිදා අයිවරි කෝස්ට් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතය.

මේ අතර නෝර්වේ කණ්ඩායමේ නායක ක්‍රිස්ටියන් තෝස්ට්වෙඩ් ද මෙම තත්ත්වය ගැන සිය අප්‍රසාදය පළ කර ඇත.

"අපි ඇවිත් ඉන්නේ පාපන්දු ලෝකයේ ලොකුම තරගාවලියට ලෑස්ති වෙන්න. හැබැයි දැන් ක්‍රීඩකයන්ට සිද්ධ වෙලා තියෙන්නේ හැම අඩියක්ම තියන්න කලින් බිම දිහා බලන්න. මේ ප්‍රදේශයේ කොපර්හෙඩ් සර්පයෝ බහුලයි කියලා අහන්න ලැබීම ගැන මට ගොඩක් කනගාටුයි"