බ්ලූමැන්ඩල් සංඛ සහ මෝදර චතුර වැඩිදුර විමර්ශන සඳහා භාරදෙයි
June 14, 2026 05:09 pm
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර රැදී සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල්කළ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සදහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත හා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත භාරදී තිබේ.
අදාළ සැකකරුවන් ඊයේ (13) රාත්‍රී කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණි අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෝදර නිපුණ නැමැත්තාගේ සහෝදරයෙකු වන මෝදර චතුර සහ බ්ලූමැන්ඩල් සංඛ නැමති පුද්ගලයින් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
25 හැවිරිදි මෝදර චතුර නැමැත්තා වැඩිදුර විමර්ශන සඳහා අද පෙරවරුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත භාරදී ඇති බව පොලිසිය පවසයි.
2019 වසරේදී ගංජා සන්තයේ තබා ගැනීම, 2020 වසරේ මුගුරකින් සහ තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකුට තුවාල කිරීම සහ 2022 වර්ෂයේ නොවැම්බර් මස කොළඹ ප්‍රධාන අංක 04 ගරු මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම සැකකරුට එරෙහිව වරෙන්තු නිකුත් කර ඇත.
එමෙන්ම අත්අඩංගුව ගත් බ්ලූමැන්ඩල් සංඛ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත භාරදී ඇති බව වාර්තා වේ.
2010 වසරේ දී පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් අධිකරණයෙන් නඩු පවරා තිබීම සහ 2015 වසරේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක ඔහු සැකකරුවෙකු වේ.
එමෙන්ම 2016 වසරේදී මාළිගාවත්ත ප්‍රදේශයේදි බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමට ආධාර අනුබල දීම, ගිනිඅවියක් හා පතරොම් සමඟ අත්අඩංගුවට ගැනීම සහ 2018 වසරේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝතනය කර තවත් තිදෙනෙකුට බරපතල තුවාල සිදුකිරීම යන සිද්ධීන්වලට ද සැකකරුට එරෙහිව චෝදනා එල්ලවී ඇති බව පොලිසිය සදහන් කළේය.
