කොදෙව්වන්ට එරෙහි එක්දින තරගාවලි ජය ශ්‍රී ලංකාවට
June 9, 2026 05:23 am
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ අවසන් එක්දින ක්‍රිකට් තරගය එකදු පන්දුවක් හෝ යැවීමට නොහැකිව සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට සිදු විය.
ඒ, සබිනා පාර්ක් ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙනි.
ඒ අනුව 1-0ක් ලෙස එක්දින තරඟාවලියේ කුසලානය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ තරඟාවලියේ පළමු තරඟයෙන් ලබා ගත් ලකුණු 41ක විශිෂ්ට ජයග්‍රහණය හේතුවෙනි.
විනිසුරුවන් කිහිප වතාවක්ම පිටිය පරීක්ෂා කළද, ක්‍රීඩාංගණ නඩත්තුකරුවන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ඔවුන් තීරණය කළේ ඕවර 20 බැගින් වූ තරඟයක් ආරම්භ කිරීම සඳහා නියමිතව තිබූ අවසන් වෙලාව වන රාත්‍රී 8.02 වන විටත් ක්‍රීඩාව ආරම්භ කිරීම අපහසු වන බවය.
කෙසේවෙතත් මෙම ජයග්‍රහණය වසර 23කට පසු එනම් 2003 වසරෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමක් කැරිබියන් දූපත්හිදී ලබාගත් පළමු එක්දින තරගාවලි ජයග්‍රහණය ද වේ.
