සලේ සියදිවි නසාගැනීමේ දැඩි අවධානමක සිටින බව අධිකරණයේ දී හෙළිවෙයි

සලේ සියදිවි නසාගැනීමේ දැඩි අවධානමක සිටින බව අධිකරණයේ දී හෙළිවෙයි

June 3, 2026   02:51 pm

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේ තුන්වන සැකකරු වශයෙන් නම්කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා විශාදය, පශ්චාත් කම්පන මානසික ආතතිය, චිත්ත ආතතිය වැනි රෝගී තත්ත්වයන්ට ගොදුරු වී තිබෙන බව, ඔහු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ.

සිය සේවාදායකයා පරීක්ෂාවට ලක්කළ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේය.

එමෙන්ම ඔහු පැවසුවේ, එම වාර්තාවේ ස්ථාන පහක සැකකාර සලේ වදහිංසාවට භාජනය වී ඇති බවට දක්වා ඇති බවත් මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔහු අධික ලෙස මානසික පීඩනයකට ගොඳුරු වී තිබෙන බවත්ය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස සැකකාර සුරේෂ් සලේ සියදිවි නසාගැනීමේ දැඩි අවධානමකට මුහුණ පා තිබෙන බවත් එම වෛද්‍ය වර්තාව තුළින් දක්වා තිබෙන බව ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ. 

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු මෝසමක් අද (03)  කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ ඉහත සඳහන් කරුණු ඉදිරිපත් කර තිබුණි.

එම අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ පැමිණිකාර පාර්ශවයේ කරුණු විමසීමකින් තොරව තමන්ට නියෝගයක් ලබාදිය නොහැකි බවය.

ඒ අනුව මෙම මෝසම හෙට (04) දින කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කළේ හෙට දින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොතීසි නිකුත් කරන ලෙසත්ය.