ඉබෝලා ලංකාවට රිංගයි ද ?

ඉබෝලා ලංකාවට රිංගයි ද ?

June 1, 2026   12:12 pm

ඉබෝලා වෛරසය ආශ්‍රිත අවදානම් තත්ත්වයන්ට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාව අවශ්‍ය සියලු පෙර සූදානම් කටයුතු සිදුකර ඇති බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය පවසයි.

ඉබෝලා වෛරසය සම්බන්ධ වත්මන් තත්ත්වය පිළිබඳ අද (01) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනවිට අවශ්‍ය සූදානම් සැලසුම් සහ පෙරහුරුවීම් සිදුකර ඇති බවය.

ඒ අනුව, ඉබෝලා ව්‍යාප්තිය වාර්තා වූ කොංගෝව සහ උගන්ඩාව වැනි රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන් පිළිබඳ විශේෂ නිරීක්ෂණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරෝධායන ඒකකය (Quarantine Unit) මඟින් ගුවන් තොටුපොළ සහ වරාය හරහා පැමිණෙන මගීන් නිරීක්ෂණය කරන අතර, සැකකටයුතු රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් පිළිබඳ තොරතුරු වසංගත රෝග විද්‍යා අංශයට වහාම දැනුම් දෙන බව ඇය පැවසුවාය.

තවද, ඉබෝලා ආසාදිත බවට සැක කෙරෙන රෝගීන් භාරගෙන අවශ්‍ය ප්‍රතිකාර සහ පාලන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික බෝවන රෝග ආයතනය (IDH) රෝහල ද සූදානම් කර ඇති බව විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.