අරගලයට පහරදීම ගැන මාසයක් තුළ දේශබන්දුට අධිචෝදනා
May 26, 2026 07:16 am
2022 වසරේ ගාලු මුවදොර 'ගෝඨා ගෝ ගම' අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව මාසයක් ඇතුළත අධි චෝදනා ගොනුකිරීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
අදාළ සිද්ධියේ සැකකරුවකු ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ ලිපියක් බලරහිත කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවකට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ඇපෑලක් කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම ඊයේ (25) සිදුකෙරුණි.
ඒ.එච්.එම්.ඩී. නවාස්, අචල වෙංගප්පුලි සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙය කැඳවන ලැබීය.
පෙත්සම ඊයේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවය.
එම අවස්ථාවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු නවාස් මහතා ප්‍රශ්නයක් යොමු කරමින් මෙම අධි චෝදනා ගොනුකිරීම සඳහා කොපමණ කාලයක් ගතවේ දැයි විමසීය.
ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පැවසුවේ දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව මාසයක් තුළ අධි චෝදනා ගොනුකිරීමට කටයුතු කරන බවය.
එම අවස්ථාවේදී දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට විරුද්ධව අධිචෝදනා ගොනුකරන්නේ නම් මෙම නඩුකර පවත්වාගෙන යාම පළ රහිත බව සඳහන් කළේය.
කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම පෙත්සම යළි සැප්තැම්බර් මස 2 වන දා කැඳවීමට නියම කළේය.
