චීනය සිය සඳ ගමනේ මූලික පියවර අරඹයි
May 25, 2026 06:18 pm
චීනය වසර 2030 වන විට සිදු කිරීමට අපේක්ෂා කරන මිනිසුන් සහිත සඳ ගමනේ මූලික පියවරක් ලෙස, වසරක කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටින විශේෂ ගගනගාමියෙකු ද ඇතුළත්ව ගගනගාමීන් තිදෙනෙකු රැගත් "Shenzhou-23" යානය ඊයේ (24) රාත්‍රියේ සාර්ථකව ගුවන්ගත කර තිබේ.
චීන අභ්‍යවකාශ ඉතිහාසයේ ගගනගාමියෙකු තනි මෙහෙයුමක් සඳහා වසරක් වැනි දීර්ඝ කාලයක් රැඳී සිටින පළමු අවස්ථාව මෙය වේ.
වයඹදිග චීනයේ Jiuquan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් ඊයේ රාත්‍රී 11:08 ට "Long March-2F Y23" රොකට්ටුව ආධාරයෙන් මෙම යානය ගුවන්ගත කර ඇත.
මෙම මෙහෙයුම සඳහා එක්ව සිටින කණ්ඩායමට අණදෙන නිලධාරී ෂු යැන්ග්ෂු , ගුවන් නියමු ෂැන්ග් යුවාන්ජි සහ පේලෝඩ් විශේෂඥ ලී ජියායින්ග් ඇතුළත් වෙති.
මෙහි විශේෂත්වය වන්නේ ලී ජියායින්ග් මහත්මිය මීට පෙර හොංකොං පොලිස් පරීක්ෂකවරියක ලෙස සේවය කර ඇති අතර, ඇය චීන අභ්‍යවකාශ මෙහෙයුමකට එක්වන හොංකොං රාජ්‍යයේ පළමු ගගනගාමියා වීමයි.
මෙම තිදෙනාගෙන් එක් අයෙකු චීනයේ "Tiangong" අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වසරක කාලයක් රැඳී සිටිමින් දීර්ඝ කාලීන අභ්‍යවකාශ වාසය මිනිස් සිරුරට බලපාන ආකාරය පිළිබඳව පර්යේෂණ සිදු කිරීමට නියමිතය.
කෙසේ වෙතත්, වසරක් පුරා රැඳී සිටින එම ගගනගාමියා කවුරුන්ද යන්න මෙහෙයුමේ ප්‍රගතිය අනුව පසුව තීරණය කරන බව චීන මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය ප්‍රකාශ කළේය.
NASA ආයතනය චීනයට වසර දෙකකට පෙර, එනම් 2028 දී මිනිසුන් සහිත සඳ ගමනක් යාමට සැලසුම් කර ඇති අතර චීනයේ ඉලක්කය වනුයේ 2030 වසරයි.
අමෙරිකාව සහ චීනය අතර චන්ද්‍ර තරගය දැඩි වී ඇති පසුබිමක, චීනය සඳ මත ජනපද පිහිටුවීමට සහ එහි සම්පත් ලබා ගැනීමට උත්සාහ කරන බවට අමෙරිකාව චෝදනා කරන නමුත් බීජිං පාලනය එම චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරයි.
චීනයේ දිගුකාලීන ඉලක්කය වනුයේ රුසියාව සමඟ එක්ව 2035 වන විට සඳ මත ස්ථාවර මධ්‍යස්ථානයක් පිහිටුවීමය.
මෙම දීර්ඝ කාලීන මෙහෙයුමේදී විකිරණවලට නිරාවරණය වීම, අස්ථි ඝනත්වය අඩුවීම සහ මානසික ආතතිය පිළිබඳව පර්යේෂණ කිරීමට අමතරව, චීන විද්‍යාඥයින් විසින් ලොව ප්‍රථම වරට අභ්‍යවකාශයේදී මිනිස් "කෘතිම කලල" පිළිබඳ පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත.
මිනිසාට දිගුකාලීනව අභ්‍යවකාශයේ ජීවත් වීමට සහ ප්‍රජනන ක්‍රියාවලිය සිදු කිරීමට ඇති හැකියාව අධ්‍යයනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
මීට අමතරව, චීනය විසින් පාකිස්තාන ගගනගාමීන් දෙදෙනෙකුට ද පුහුණුව ලබා දෙමින් සිටින අතර, ඔවුන්ගෙන් අයෙකු ද මේ වසරේදී කෙටි කාලීන මෙහෙයුමක් සඳහා ටියැන්ගොන්ග් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යාමට නියමිත බව වාර්තා වේ.
