මොළය වයසට යාම අඩු කරන්න ක්‍රම තුනක්
May 11, 2026 06:03 pm
අපගේ ශරීරය නිරන්තරයෙන් උත්සාහ කරනු ලබන්නේ ශක්තිය ඉතිරි කර ගැනීම සඳහා පහසු මඟක් තෝරා ගැනීමටයි.
නමුත් මොළයට වැඩි වෙහෙසක් නොදී සිටීම අපගේ ආයු කාලයට සහ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑ හැකි බව විශේෂඥයින් සොයා ගෙන ඇති බව විදෙස් වාර්තාහි සඳහන් වෙයි.
මොළයට යම් අභියෝගයක් ලබාදෙන ක්‍රියාකාරකම්වල යෙදීමෙන් මොළයේ ආරක්ෂිත ශක්තිය වර්ධනය වේ.
මෙය වයසට යනවිට මොළය ආරක්ෂා කිරීමට උපකාරී වේ.
මොළය නිරෝගීව තබා ගැනීමට ජීවන රටාව සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට අවශ්‍ය නැත.
එදිනෙදා කරන වැඩවලදී ශාරීරික, සමාජීය සහ මානසික වශයෙන් කුඩා වෙනස්කම් සිදුකිරීම ප්‍රමාණවත්ය.
තාක්ෂණය නිසා අප බොහෝ වැඩ ඉතා පහසුවෙන් කිරීමට පුරුදු වී සිටියත්, විටින් විට මොළයට වෙහෙසක් දැනෙන වැඩවල යෙදීම මොළයට ඉතා ගුණදායක බව වාර්තාවල සඳහන් වෙයි.
ඔබේ මොළය නිරෝගීව තබා ගැනීමට නම්,
1. සිතියම් භාවිතය අඩු කර මතකයෙන් මඟ සලකුණු සහ දිශාවන් හඳුනා ගැනීම
මොළයේ මතකය සහ දිශාවන් හඳුනා ගැනීමට උදව් වන ප්‍රධාන කොටස හිපොකැම්පස් (Hippocampus) ලෙස හැඳින්වේ.
ඇල්සයිමර් (Alzheimer's) රෝගයේදී මුලින්ම බලපෑමට ලක්වන්නේ මෙම කොටසයි.
ටැක්සි රියදුරන් වැනි අය සිතියම් භාවිතා නොකර මතකයෙන් මාර්ග සොයා යන අයගේ මොළයේ මෙම හිපොකැම්පස් කොටස වඩාත් වර්ධනය වී ඇති බව ද පර්යේෂණයන්ගෙන් සොයාගෙන ඇති බව සඳහන් වෙයි.
එම නිසා මෙම ප්‍රදේශය සක්‍රීයව තබා ගැනීම ඉතා වැදගත් වේ.
2. සමාජශීලීව කාලය ගත කරන්න
පර්යේෂණවලට අනුව, මැදි වියේ සිටම අන් අය සමඟ හොඳින් ඇසුරු කරන පුද්ගලයන්ට වයසට යන විට මතකය අඩුවීමේ රෝග වැළඳීමේ අවදානම 30% සිට 50% දක්වා අඩු වන බව සඳහන් වෙයි.
අන් අය සමඟ කතාබස් කිරීම, අදහස් හුවමාරු කර ගැනීම සහ විවාද කිරීම වැනි දේ හරහා මොළයේ විවිධ කොටස් එකවර ක්‍රියාත්මක වේ.
මේ අතර, සමාජශීලී වීම මඟින් මානසික ආතතිය අඩු වේ.
අධික මානසික ආතතිය මොළයේ සෛල විනාශ වීමට ප්‍රධාන හේතුවක් වන බැවින්, මිතුරන් සමඟ කාලය ගත කිරීම එය වළක්වනු ලබන බව සඳහන් වෙයි.
තනිවම හුදෙකලා නොවී අන් අය සමඟ කතාබහ කරමින්, සතුටින් කාලය ගත කිරීම ඔබේ මොළය නිරෝගීව තබා ගැනීමට ඇති පහසුම සහ සාර්ථකම ක්‍රමයකි.
3. ජීවිත කාලය පුරාම අලුත් දේ ඉගෙන ගන්න
අධ්‍යාපනය සහ නව දේවල් ඉගෙනීම සඳහා වැඩි කාලයක් ගතකරන පුද්ගලයන්ට මතකය අඩුවීමේ රෝග වැළඳීමේ අවදානම ඉතා අඩුය.
මොළය සැමවිටම අලුත් අභියෝග සහ අලුත් අත්දැකීම්වලට ප්‍රිය කරයි.
අප අලුත් දෙයක් ඉගෙන ගන්නා විට මොළයේ නව සෛල සහ සම්බන්ධතා ඇති වේ.
මෙය වයසට යෑම නිසා සිදුවන සෛල විනාශයට එරෙහිව ආරක්ෂිත පවුරක් ලෙස ක්‍රියා කරයි.
කුඩා කාලයේ ඉගෙනීමට දක්ෂ නොවූ අයෙකුට වුවද, වැඩිහිටි වියේදී විවිධ දේ ඉගෙනීමෙන් තම මොළයේ ශක්තිය වර්ධනය කරගත හැකිය.
වයසට යන විට අප එකම රටාවකට වැඩ කිරීමට පුරුදු වේ.
එම රටාවෙන් මිදී අලුත් දෙයක් කිරීම මොළයට ඉතා වැදගත් වේ.
එහිදී ගෙවතු වගාව මොළයේ ක්‍රියාකාරිත්වය ආරක්ෂා කරන බව පර්යේෂණවලින් තහවුරු වී ඇත.
