අමෙරිකානු ජනපතිගේ චීන සංචාරය ගැන චීන විදේශ අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

අමෙරිකානු ජනපතිගේ චීන සංචාරය ගැන චීන විදේශ අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

May 11, 2026   04:50 pm

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චීන සංචාරය සඳහා වන නිශ්චිත විධිවිධාන සහ චීනයේ අපේක්ෂාවන් සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශය දැනුවත් කරයි. 

එහි ප්‍රකාශක Guo Jiakun මහතා අද (11) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.

චීන ජනාධිපති ෂී ජින් පිංගේ ආරාධනයකට අනුව අමෙරිකානු ජනපති ට්‍රම්ප් ලබන 13 වෙනිදා සිට 15 වෙනිදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. 

මෙය පසුගිය ඔක්තෝබර් මාසයේ බුසාන්හි හමුවෙන් පසු චීන-අමෙරිකානු රාජ්‍ය නායකයන් අතර සිදු වන දෙවන හමුවීම මෙන්ම වසර නවයකට පසු අමෙරිකානු ජනාධිපතිවරයෙකු චීනයේ සිදු කරන පළමු සංචාරය ද වන බව Guo Jiakun එහිදී පැවසීය. 

ෂී ජින් පිං ට්‍රම්ප් සමඟ චීන අමෙරිකානු සබඳතා සහ ලෝක සාමය හා සංවර්ධනය යන වැදගත් කරුණු සම්බන්ධයෙන් මෙහිදී ගැඹුරින් අදහස් හුවමාරු කරගැනීමට සූදානමින් සිටින බව හෙතෙම සඳහන් කළේය.

චීන-අමෙරිකානු නායකයන්ගේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය, දෙරට අතර සබඳතාවන්හි අත්‍යවශ්‍ය උපායමාර්ගික මග පෙන්වීමේ කාර්යභාරයක් ඉටු කරයි. 

වෙනස්කම් හා කැළඹිලිවලින් පිරුණු ලොවක් සඳහා වැඩි ස්ථාවරත්වයක් සහ නිශ්චිතභාවයක් එන්නත් කිරීම සඳහා, සමානාත්මතාවය, ගෞරවය සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සමඟින් සහයෝගීතාවන් පුළුල් කර වෙනස්කම් පාලනය කිරීමට අමෙරිකාව සමඟ එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද Guo Jiakun වැඩිදුරටත් කියා සිටියේය.