ඉන්දීය හිටපු යොවුන් ක්‍රිකට් තරුවක් අකාලයේ මියයයි

ඉන්දීය හිටපු යොවුන් ක්‍රිකට් තරුවක් අකාලයේ මියයයි

May 7, 2026   04:24 pm

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකු වූ අමන්ප්‍රීත් සිං ගිල් ඊයේ (6) අභාවප්‍රාත්ත වී තිබේ.

පන්ජාබ් (එවක කිංග්ස් XI පන්ජාබ්) කණ්ඩායම නියෝජනය කළ හිටපු වේගපන්දු යවන්නෙකු වූ අමන්ප්‍රීත් සිං, මියයන විට 36 හැවිරිදි වියේ පසුවිය.

කෙසේ නමුත් ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඔහු මාස 6කට ආසන්න කාලයක සිට රෝගී තත්ත්වයකින් පෙළෙමින් සිට ඇත.

විරාට් කෝලි ඉන්දීය 19න් පහළ කණ්ඩායම ක්‍රීඩාකළ සමයේ ඔහුගේ සමකාලීනයෙකු වූ අමන්ප්‍රීත්, 2007 වසරේදී ඉන්දියාව වෙනුවෙන් යොවුන් එක්දින තරග ගණනාවකට සහ තුන්දින යොවුන් ටෙස්ට් තරගයකටද ක්‍රීඩාකර තිබේ.

එම කාලය තුළ ඉන්දීය යොවුන් කණ්ඩායම සමග එංගලන්තය, මැලේසියාව සහ ශ්‍රී ලංකාව යන රටවලද සංචාරය කර ඇත.

කෙසේ වෙතත් 2008 19න් පහළ යොවුන් ලෝක කුසලානය දිනාගත් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායමට ඔහු ඇතුළත් නොවීය.

2006 - 2008 අතර කාලයේ පන්ජාබ් ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් පළමු පෙළ තරග 6කට සහභාගී වී ඇති අමන්ප්‍රීත් සිං, 2008 මංගල IPL වාරයේදී එවකට කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමේ සාමාජිකයෙකු විය.

ඒ අනුව ඔහුට ගෞරවයක් වශයෙන් ඊයේ රාත්‍රියේ පැවති සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී පංජාබ් කිංග්ස් ක්‍රීඩකයින් කළු අත්පටි පැළඳ සිටියහ.