ලොවපුරා වසරකට මිලියන 80ක් දුම්කොළ භාවිතයෙන් ජීවිතක්ෂයට

ලොවපුරා වසරකට මිලියන 80ක් දුම්කොළ භාවිතයෙන් ජීවිතක්ෂයට

May 3, 2026   03:14 pm

ලොව පුරා වසරකට මිලියන 80කට ආසන්න ප්‍රමාණයක් දුම්කොළ නිෂ්පාදන භාවිතය නිසා ජීවිතක්ෂයට පත්වන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ මේ අතරින් මිලියන 70කට ආසන්න ප්‍රමාණයක් සෘජු දුම්කොළ නිෂ්පාදන හේතුවෙන් සහ තවත් 10%ක් පමණ අක්‍රීය දුම්පානය හේතුවෙන් ද ජීවිතක්ෂයට පත්වන බවය.

එමෙන්ම මධ්‍යසාර භාවිතයෙන් තවත් විශාල ජීවිත ප්‍රමාණයක් අහිමිවනවා සේම සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණදීමට සිදුවනු ඇති බවද ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

ඒ මහතා මේ බව පැවසුවේ 2010 වසරෙන් පසුව උපන් සියලුම දූ දරුවන් දුම්කොළ භාවිතයෙන් තොර පරපුරක් බවට පත් කිරීමට නිර්දේශ ඇතුළත් යෝජනාවලිය සහිත සංකල්ප පත්‍රිකාව පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට භාරදීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පැවසුවේ ශ්‍රී ලංකාවද දුම්කොළ හා මධ්‍යසාර නිෂ්පාදන භාවිතය හේතුවෙන් සෞඛ්‍ය හා ආර්ථික වශයෙන් මෙන්ම පුළුල් සමාජයම බරපතළ ගැටළු රැසකට මුහුණ දී ඇති බවය.

එමෙන්ම මෙරට දුම්කොළ සහ මධ්‍යසාර හේතුවෙන් සිදුවන වාර්ෂික මරණ සංඛ්‍යාව 22,000කට ආසන්න බවද පෙන්වා දුන් ඒ මහතා දුම්කොළ හා මධ්‍යසාර වෙනත් මත්ද්‍රව්‍ය සඳහා වන පළමු ප්‍රවේශය බවද පෙන්වා දුන්නේය.

එමෙන්ම මෙම වැඩසටහනට එක්වෙමින් මෙම අවස්ථාවට සහභාගී වූ රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ එල්.එල් අමිල ඉසුරු මහතා පෙන්වා දෙන ලද්දේ දුම්කොළ සහ දුම්වැටි නූතන මානව වර්ගයාට බලපාන ඉතා භයානක සෞඛ්‍ය අභියෝගයක් වන බවය.

දූ දරුවන්ට වඩා සෞඛ්‍ය සම්පන්න ඉදිරි අනාගතයකට පියනැගීම සඳහා බලපාන ප්‍රධාන බාධකයක් ලෙස දුම්වැටි හඳුනාගෙන ඇති බවද පාසල් පද්ධතිය තුළ තරුණ දරුවන් අතර දුම්වැටි භාවිතය යම්කිසි ප්‍රමාණයකින් ඉහළ යමින් තිබෙන බවද ඒ මහතා මෙහිදී අනාවරණයක්ද සිදු කළේය.

සෞඛ්‍ය සේවාව සඳහා වෙන් වන මුදලින් වැඩි ප්‍රමාණයක් දුම්වැටි හේතුවෙන් රෝගී වන පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීමට වැයවන බවත් පෙන්වාදුන් ඒ මහතා ලොව පුරා දුම්වැටි භාවිත කරන පිරිසෙන් සියයට එකක් පමණ ප්‍රමාණයක් පමණක් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන බවද පෙන්වා දුන්නේය.

එබැවින් දුම්වැටි හේතුවෙන් සමාජයට වන අහිතකර බලපෑම වළක්වාලීම උදෙසා ඇති හොඳම පිළියම වන්නේ දුම්වැයි සමාජය තුළ බහුලවීම වළක්වාලීම සහ ජනතාව පැමිණීම අවම කිරීම බවද ඒ මහතා සඳහන් කළේය.

ඒ සඳහා විද්‍යාත්මක පදනමකින් යුතුව ලොව පුරා යොදාගන්නා ක්‍රමවේදයක් ලෙස දුම්වැටි ඉදිරි අනාගත දරුවන් වෙනුවෙන් ලබා ගැනීමට ඇති අවසථාව ඇහිරීම සිදුකළ යුතු බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.