බස්රථ අනතුරකින් හෙද නිලධාරියෙකුට දිවි අහිමි වෙයි
May 3, 2026 02:35 pm
හෙට්ටිපොල, කොටන්පිටිය මංසන්ධියේ සිදු වූ රිය අනතුරකින් හෙද නිලධාරියෙකු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ හෙට්ටිපොල කොටන්පිටිය ප්රදේශයේ පදිංචිව සිටි හලාවත මහ රෝහලේ සේවය කරමින් සිටි හෙද නිලධාරී හසිත මලවිසිංහ නැමති එක්දරු පියෙකි.
හසිත, ඊයේ (02) පස්වරුවේ රාජකාරියට යාමට බසයක් එනතුරු මාර්ගය අසල සිටගෙන සිට ඇති අතර එම අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇත.
මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බස් රථයක් රියදුරුගේ පාලනයෙන් මිදී ලොරි රථයක සහ යතුරු පැදි දෙකක ද ගැටි මාර්ගයේ අසල, හසිත සිටගෙන සිටි ස්ථානයේ පිහිටි වෙළෙඳසැලකට කඩාවැදී ඇත.
එම අවස්ථාවේදී හසිත, බස් රථයට සහ වෙළෙඳසැලට මැදි වී අනතුරට ලක්ව මියගොස් තිබේ.
අද දෙරණ වාර්තාකරු පැවසුවේ හසිත දින කිහිපයකින් විදෙස් ගත වීමට ද සැලසුම් කර තිබී ඇති බවය.
මෙම අනතුර සම්බන්ධයෙන් හෙට්ටපොල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
