ජෛවමිතික දත්ත ඉන්දියානු සමාගමකට දෙන සැලසුමක් ගැන හෙළිදරව්වක්
April 30, 2026 05:21 pm
ලංකාවේ ජනතාවගේ ජෛවමිතික දත්ත (ඇඟිලි සලකුණු සහ ඇස් තොරතුරු) ඉන්දියානු සමාගමකට ලබාදීමට සැලසුමක් ඇති බවට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ අනාවරණය කරයි.
අද (30) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ, ජාතික හැඳුනුම්පත් සඳහා භාවිතා වන ජෛවමිතික දත්ත පද්ධතිය සම්බන්ධ තීරණ ගැනීමේ බලය ඉන්දියාවට ලබාදී ඇති බවය.
ඔහු සඳහන් කළේ, 2012 සිට ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත් ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 5.6කට අධික මුදලක් වැය කරමින් මෘදුකාංග සංවර්ධනය සිදු කර ඇති අතර, තව රුපියල් මිලියන 600කින් ව්‍යාපෘතිය අවසන් කළ හැකි බවයි. එමෙන්ම 2021 වසරේ පාලන කාලයේදී මෙම ව්‍යාපෘතියට ඉන්දියානු සම්බන්ධතාව එක් කිරීමට පියවර ගෙන ඇති බවද ඔහු චෝදනා කළේය.
පසුව 2023දී රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේදී ටෙන්ඩර් කැඳවීමක් සිදු කර, අසාදු ලේඛනගත කර තිබූ සමාගමට එය ලබාදීමට උත්සාහ කර ඇති බවද සඳහන් කළේය.
ඊට අමතරව, 2025 ජනවාරි මාසයේදී ඉන්දියාව සමඟ ගිවිසුමක් අත්සන් කර, ටෙන්ඩර් කැඳවීමේ බලයද ඉන්දියාවට ලබාදී ඇති බවට ඔහු චෝදනා කළේය.
මෙම තත්ත්වය යටතේ, ලංකාවේ අසාදු ලේඛනගත සමාගමක් නැවතත් ටෙන්ඩර් ක්‍රියාවලියට ඇතුළත් වී ඇති බවත්, එය බරපතළ ගැටලුවක් බවත් වසන්ත මුදලිගේ මහතා අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා,
"2025 ජනවාරි ඉන්දියාව සමග ගිවිසුමක් අත්සන් කළා. ඊට අනුව ටෙන්ඩර් කැඳවීමේ බලයත් ඉන්දියාවට දුන්නා. ඒ කළ බරපතළ වැරැද්ද නිසා අපට මේ සම්බන්ධ කිසිම බලපෑමක් කරන්න හැකියාවක් නැති වුණා. මුලින් ඒ සඳහා ඉන්දියානු සමාගම් පහක් ලියාපදිංචි වී තිබුණා. නමුත් 2026 මාර්තු වනවිට හයවන සමාගමක් ලියාපදිංචියට ඇතුළු වෙලා. ඒ ලංකාවේ අසාදු ලේඛනගත සමාගම. ඒ සමාගම අසාදු ලේඛනයෙන් ඉවත් කළාද? ඉවත් කලේ කුමන හේතු මතද? එසේ නැතිනම් ලංකාවේ අසාදු ලේඛනගත සමාගමකට ලංකාවේ රාජ්‍ය ව්‍යාපෘතියක් පවරන්න ඉන්දියාවට ඇති බලය මොකක්ද? ටෙන්ඩර් කැඳවීමේ බලය ඉන්දියාවට දුන්නේ ඇයි? මේ ගැන වහාම පැහැදිලි කිරීමක් කළ යුතුයි. ලංකාව ඉන්දියාවේ රූකඩ රාජ්‍යයක් හෝ ප්‍රාන්තයක් නෙවෙයි. මේ ආකාරයට ලංකාවේ ජනතාවගේ ආරක්ෂාව සහ ලංකාවේ දේශපාලන ස්වාධිපත්‍යය පැහැර ගන්න කාටවත් ඉඩ දෙන්න බෑ."
