දුම්රිය ධාවනය වේගසීමාවලට විතරයි - ගමන් ප්‍රමාද විය හැකියි

දුම්රිය ධාවනය වේගසීමාවලට විතරයි - ගමන් ප්‍රමාද විය හැකියි

April 27, 2026   03:47 pm

මින් ඉදිරියට වේගසීමා තරයේ පිළිපදිමින් දුම්රිය ධාවනය කිරීමට කටයුතු කරන බව ලොකමෝටිව් ඔපරේටිව් ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති ජීව ගුණවර්ධන මහතා පවසයි.

ඒ  හේතුවෙන් දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් ඇති විය හැකි බව ද ඔහු අවධාරණය කළේය.

පසුගියදා වාද්දුවේදී පීලිපැනීමට ලක්වූ සාගරිකා දුම්රියේ රියදුරන්ගේ සේවය නතර කිරීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙම තීරණය ගෙන තිබේ.

කෙසේ වෙතත් මෙය වෘත්තීය ක්‍රියාමාර්ගයක් නොවන බව ද ජීව ගුණවර්ධන මහතා අවධාරණය කළේය.

"සාගරිකා දුම්රිය වාද්දුව දුම්රිය ස්ථානයේදී පිලීපැනීමකට ලක්වුණා. ඉන් පසුව ඊයේ (26) දිනයේදී එම දුම්රියේ සිටි අපේ රියදුරු ඇතුළු දුම්රිය කාර්ය මණ්ඩලය වැඩ තහනමකට ලක් කළා. ඊට පස්සේ ඒක වැරදි කියන එක පාලනාධිකාරියට ප්‍රකාශ කළා. දැන් ඒ අය රාජකාරියට වාර්තා කරනවා නමුත් සේවය ලබා ගන්නේ නැහැ. මේ සිදුවීම සිදු වෙන්නේ, තාවකාලික වේගසීමා පවතින ස්ථානයක නෙවෙයි. එහෙම ධාවනය වන අතරතුර පිලී පැනීමකට ලක්වෙලා තියෙනවා. දුම්රියේ රියදුරා හෝ කාර්ය මණ්ඩලය චේතනාන්විතව මේක කරපු දෙයක් නෙවෙයි. දුම්රිය කාර්ය මණ්ඩලය පමණක් වැඩ තහනමට ලක් කළා මුලින්ම. අපි පැහැදිලිවම මේකට විරෝධය පළ කළා. 

අපිට ධාවනයට ලබාගන්නා දුම්රියවල බොහෝ අඩුපාඩු තියෙනවා. ඒ වගේම දුම්රිය මාර්ගයත් නිසි නඩත්තුවකින් ඉදිරියට යන්නේ නැහැ. සියලු කාරණා එසේ තිබියදී දුම්රිය කාර්ය මණ්ඩලය පමණක් වැඩ තහනම් කිරීම තරයේ හෙළා දකිනවා. ඊට අමතරව අපිට ලබාදීලා තිබෙන කාලසටහන අනුව අපි දුම්රිය නිසිවෙලාවට ධාවනය කරන්නේ, දුම්රිය රියදුරා විසින් තමන්ගේ රැකියාව අවධානමකට ලක් කරමින්. 

එහෙමයි අපි දුම්රියක් වෙලාවට ධාවනය කරන්නේ. ඒක නිසා අපි තීරණය කළා මින් ඉදිරියට ඒ අවධානම ලබානොගෙන දුම්රිය ධාවනය කරන්න. දුම්රිය ධාවනය වෙනවා, යම් ප්‍රමාදයක් සහිතව වෙයි. ධාවනය වන  දුම්රියන්වල ලොකු තාක්ෂණික අඩුපාඩු තියෙනවා. දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් වේගසීමා පිළිපදින්න කිව්වාට, සියයට 80කගේ පමණ වේගසීමා නිර්ණනය කරගැනීමට අවශ්‍ය දත්ත ලබාගත හැකි මීටර් ඇතුළු බොහෝ උපාංග නැහැ. ඒ නිසා අපි යම් කාලයක් ලබාදීලා අඩුපාඩු සහිත දුම්රියන් අලුත්වැඩියා කරලා දෙන්න කියලා ඉල්ලනවා. එසේ නොකරන්නේ නම්  ඒවායේ ධාවනයෙන් ඉවත් වෙන්න අපි තීරණය කරලා තියෙනවා."