හෝමූස් සමුද්‍ර සන්ධියේ අතුරා ඇති බෝම්බ ඉවත් කරන්න මාස 6ක් ගත වෙයි - පෙන්ටගනය

හෝමූස් සමුද්‍ර සන්ධියේ අතුරා ඇති බෝම්බ ඉවත් කරන්න මාස 6ක් ගත වෙයි - පෙන්ටගනය

April 23, 2026   12:19 pm

හෝමූස් සමුද්‍ර සන්ධියේ  අතුරා ඇති මුහුදු බෝම්බ ඉවත් කර එම මුහුදු මාර්ගය ආරක්ෂිත කිරීමට අවම වශයෙන් මාස හයක කාලයක් ගතවනු ඇති බව පෙන්ටගනය ප්‍රකාශ කර තිබේ.

විදෙස් පුවත් වාර්තා කරන පරිදි, පෙන්ටගන නිලධාරීන් මේ බව අනාවරණය කළේ පසුගිය අඟහරුවාදා පැවැති නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සන්නද්ධ සේවා කමිටු රැස්වීමකදීය.

මෙම රහසිගත කරුණු පැහැදිලි කිරීමේ සැසිය මැදපෙරදිග පවතින උණුසුම් තත්ත්වය හමුවේ ඉතා තීරණාත්මක එකක් විය.

කෙසේ වෙතත්, මෙම සැසියෙන් අනතුරුව මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇත්තේ තමන්ට පිළිතුරු වලට වඩා ගැටලු ඉතිරි වූ බවය.

විශේෂයෙන්ම ඉරානය සමඟ පවතින යුද්ධය සඳහා වැයවන පිරිවැය, එහි මූලෝපායන් සහ අවසන් අරමුණු පිළිබඳව මන්ත්‍රීවරුන් නැගූ ප්‍රශ්නවලට නිලධාරීන්ගෙන් නිසි පිළිතුරු ලැබී නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.

එමෙන්ම, යුද්ධය ආරම්භයේදීම ඉරානයේ පාසලකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන්ද මෙහිදී දැඩි ලෙස ප්‍රශ්න කර ඇත.

එම ප්‍රහාරයෙන් පාසල් සිසුවියන් ඇතුළු පුද්ගලයන් 165 දෙනෙකු පමණ මියගිය අතර, එම සිදුවීම සහ යුද්ධයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව පෙන්ටගනය නිසි පැහැදිලි කිරීමක් කර නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.