කාර්යාල දුම්රිය හෙට සාමාන්‍ය පරිදි - පෞද්ගලික බස් රථ ධාවනය අඩු වෙයි

කාර්යාල දුම්රිය හෙට සාමාන්‍ය පරිදි - පෞද්ගලික බස් රථ ධාවනය අඩු වෙයි

April 15, 2026   08:20 pm

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාව මේ වනවිට කොළඹට පැමිණෙමින් සිටිති. 

ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගී ජනතාවගේ අවශ්‍යතාව පරිදි සැලසුමකට අනුව අද (15) සිට බස්රථ ධාවනයට එක් කර තිබේ.

එම බස් රථ ධාවනය ලබන 20 වෙනිදා දක්වා ක්‍රියාත්මක කරන බව එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා කියා සිටියේය. 

මගී අවශ්‍යතාව පවතින්නේ නම් 20 වෙනිදායින් පසුවත් පිට පළාත්වල සිට ගම්බිම් බලා ගිය ජනතාව කොළඹ සහ ප්‍රධාන නගර බලා රැගෙන ඒමට කටයුතු කරන බව ද ඔහු පැවසුවේය. 

මේ අතර දිවයින පුරා හෙට (16) දිනයේ සියයට 50ක පමණ බස් රථ ධාවනයේ යෙදවීමට කටයුතු කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, මේ දිනවල මගී ජනතාවගේ අඩුවක් පැවතීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

"දුර සේවාත් ඇතුළුව බස් රථ 7000ක් පමණ ධාවනයේ යෙදවීමට කටයුතු කරනවා. සිකුරාදා වනවිට බස්රථ සේවාව යථාතත්ත්වයට පත් කරන්න කටයුතු කරනවා. ගම්බිම් බලා ගිය ජනතාවට කල්වේලා ඇතිව කොළඹට පැමිණෙන්න කියලා මගී ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා." 

මේ අතර හෙට (16) සිට කාර්යාල දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්ම කිරීමට කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරි අසංක සමරසිංහ මහතා කියා සිටියේය. 

"බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් හෙට (16) දින උදෑසන පැමිණෙන සාගරිකා දුම්රිය සාමාන්‍ය විදිහට 16 සහ 17 යන දිනවල අලුයම 04.15ට කොළඹ බලා පිටත් වෙනවා. කොළඹ - කොටුවෙන් සවසට සාමාන්‍ය වෙලාවට ගමන් ආරම්භ කරනවා. 18 සහ 19 දෙදිනත් උදෑසන 08.20 බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් පිටත් වෙනවා. මාතර දුම්රිය ස්ථානයේ රුහුණු කුමාරි සහ ගාලු කුමාරි දුම්රිය සාමාන්‍ය පරිදි පිටත් වෙනවා. ඒ වගේම ගාල්ල දුම්රිය ස්ථානයෙන් අලුයම 03.15ට 04.00ට 04.10ට 05.00ට 05.15ට පැය භාගයෙන් භාගයට කොළඹ කොටුව බලා දුම්රිය පිටත් වෙනවා. ඒ වගේම හෙට දින සිට උදෑසන මහව, ගනේවත්ත, කුරුණෑගල, රඹුක්කන සහ පොල්ගහවෙල සිට සාමාන්‍ය පරිදි කාර්යාල දුම්රිය ධාවනය කිරීමට සැලැසුම් කරලා තියෙනවා. හලාවතෙන් තව දුම්රිය දෙකක්, අවිස්සාවේල්ලෙන් දුම්රිය තුනකුත්, කොස්ගමින් දුම්රියකුත් හෙට දින උදෑසන කොළඹට ඇවිත් සාමාන්‍ය පරිදි සවස කාර්යාල දුම්රිය ටික ධාවනය කිරීමට සැලැසුම් කරලා තියෙනවා."