ලොව දුප්පත් - පොහොසත් පරතරය තවත් වැඩිවෙයි

ලොව දුප්පත් - පොහොසත් පරතරය තවත් වැඩිවෙයි

April 11, 2026   11:17 am

ලොව දුප්පත් - පොහොසත් පරතරය තවදුරටත් වැඩිවෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නවතම වාර්තාවක් නිකුත්කරමින් පවසා තිබේ.

ඉකුත් වසරේ බොහෝ රටවල් එකඟ වූ පොරොන්දු, එනම් ප්‍රධාන ගෝලීය මූල්‍ය ආයතනවල ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු ක්‍රියාමාර්ග ක්‍රියාත්මක නොකිරීම මීට හේතුවී ඇති බව එම සංවිධානය අනාවරණය කරගෙන ඇත.

2030 වසර සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන ඉලක්ක සපුරාගැනීම සඳහා ඉකුත් වසරේදී ස්පාඤ්ඤයේ දී සම්මත කරන ලද සැලැස්ම තක්සේරු කරමින් සකස් කළ මෙම වාර්තාව නිකුත් කරනු ලැබුවේ, ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කරන ප්‍රධාන ගෝලීය මූල්‍ය ආයතන වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ලබන සතියේ වොෂින්ටනයේ පැවැත්වීමට සැලසුම්කර තිබෙන රැස්වීම්වලට පෙරය.

IMFහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා පැවසුවේ, ගෝලීය වර්ධනය වැඩිදියුණු කිරීමට එය සූදානම්ව සිටි නමුත් ඉරාන යුද්ධය මේ වනවිට ලෝක ආර්ථිකයේ දැක්ම අඩාල කර ඇති බවය.

මේ අතර එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කටයුතු පිළිබඳ අංශයේ උප මහලේකම් ලී ජුන්හුවා පැවසුවේ, භූ දේශපාලනික ආතතීන් වැඩිවෙමින් පවතින රටවල මූල්‍ය ආයෝජන ආකර්ෂණය කරගැනීම තවදුරටත් සංකීර්ණ වී ඇති බවයි.

ඉහළ යන වෙළෙඳ බාධක සහ දේශගුණික බලපෑම් ආශ්‍රිත කම්පන නැවත නැවතත් සිදුවීම වර්ධනය වන මෙම පරතරය, තවත් වැඩි කරන බව මෙම වාර්තාවෙන් පෙන්වා දී ඇත.