ජනපති බැංකු සහ මූල්‍ය ආයතන ප්‍රධානීන් හමුවෙයි
April 6, 2026 05:27 pm
ATM යන්ත්‍ර මගින් මුදල් ගනුදෙනු කිරීමේ සේවාව ලබාදීමේදී බැංකු පද්ධතියට විශාල පිරිවැයක් දැරීමට සිදු වන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා බැංකු සහ මූල්‍ය ආයතන ප්‍රධානීන් අතර අද (06) පැවති හමුවට එක්වෙමිනි.
ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය දියත් කිරීමෙන් අනතුරුව මෙම හමුව පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
මෙම ක්‍රමවේදය ජනතාවට වඩා පහසු සහ ආකර්ෂණීය ක්‍රමවේදයක් බවට පත් කර ගැනීමට මෙරට බැංකු පද්ධතියෙන් ලබා ගත හැකි සහාය පිළිබඳව ද එහිදී සාකච්ඡා කර තිබේ.
වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මතු වන බාධා ඉවත් කර ගනිමින් සමාජය තුළ එය වේගයෙන් ප්‍රචලිත කිරීමට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
මෙරට ඩිජිටල්කරණයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අද (06) ආරම්භ කෙරුණු ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට බැංකු සහ මූල්‍ය ආයතන වෙත පැවරී ඇති වගකීම මෙහිදී ජනාධිපතිවරයා පැහැදිලි කර ඇත.
නව ක්‍රමවේදය මගින් ගනුදෙනු කිරීමේදී ඇති වන පරිවර්තනයත් සමග එම පිරිවැය අවම කර ගැනීමට හැකියාව ලැබෙන බවත් නව ක්‍රමවේදය මහජනතාවට වඩාත් කාර්යක්ෂම, විශ්වාසනීය සහ ආරක්ෂිත ක්‍රමවේදයක් වනු ඇති බවත් මහබැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය.
එහිදී බැංකු ක්ෂේත්රය නියෝජනය කරමින්, ලංකා බැංකුවේ වැඩබලන ප්‍රධාන කළමනාකරු, ප්‍රධාන විධායක නිලධාරී වයි.ඒ. ජයතිලක මහතා අදහස් දක්වමින් සඳහන් කළේ ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ගනුදෙනු කිරීමට ජනතාව දිරි ගැන්වීමේ වැඩසටහන් මේ වන විට ක්‍රියාවට නංවා තිබෙන බවයි.
රජය ආරම්භ කළ මෙම නව වැඩපිළිවෙළට බැංකු පද්ධතියේ උපරිම සහාය ලබා දෙමින් රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යන ගමනට සිය දායකත්වය ලබා දෙන බවද ඒ මහතා සඳහන් කළේය.
