ධවල මන්දිර ව්‍යාපෘතියකට ට්‍රම්ප්ට එරෙහි අධිකරණ නියෝගයක්
April 1, 2026 05:19 pm
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ උත්සව ශාලාවක් (Ballroom)ඉදිකිරීමට ආරම්භ කළ ව්‍යාපෘතිය අධිකරණ නියෝගයක් මගින් තාවකාලිකව නතර කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
අමෙරිකානු විනිසුරු රිචඩ් ලියොන් විසින් මෙම ඉදිකිරීම් වහාම නතර කරන ලෙස නියෝග කර ඇත.
මෙයට හේතුව වී ඇත්තේ ඉදිකිරීම් ආරම්භ කිරීමට පෙර අනුගමනය කළ යුතු නිසි නීතිමය පටිපාටි ධවල මන්දිරය විසින් උල්ලංඝනය කර තිබීමයි.
ජාතික අගනුවර සැලසුම් කොමිසමට සැලසුම් ඉදිරිපත් නොකිරීම,ව්‍යාපෘතියේ පාරිසරික තක්සේරුවක් ලබා නොගැනීම සහ කොංග්රස් මණ්ඩලයෙන් අවසර ලබා නොගැනීම ,යන චෝදනා මෙහිදී එල්ල වී ඇති බව සඳහන් වෙයි.
"එක්සත් ජනපදයට අයත් දේපළ සම්බන්ධ සියලු නීති රීති සැකසීමේ අයිතිය කොංග්රස් මණ්ඩලයට හිමි වේ" යනුවෙන් සඳහන් අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ට්‍රම්ප් විසින් උල්ලංඝනය කරන බව ද එහි චෝදනා කර තිබුණි.
විනිසුරුවරයා පවසා ඇත්තේ ජනාධිපතිවරයා ධවල මන්දිරයේ අයිතිකරු නොව එහි "භාරකරු" පමණක් බවයි.
එබැවින් මෙවැනි විශාල වෙනසක් කිරීමට කොංග්රස් මණ්ඩලයේ අනුමැතිය අනිවාර්ය බව ඔහු අවධාරණය කළේය.
මෙම නඩුව පවරා තිබුණේ ඓතිහාසික ස්ථාන සුරැකීමේ ජාතික භාරය (National Trust for Historic Preservation) විසිනි.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හේතුව ලෙස ලබන මාසයේ බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු අමෙරිකාවට පැමිණෙන බවත්, ඔහු වැනි රාජ්‍ය නායකයන්ට සංග්‍රහ කිරීමට දැනට ඇති පහසුකම් මදි බවත් ට්‍රම්ප් පවසා තිබේ.
මෙම ව්‍යාපෘතිය සඳහා රජයේ මුදල් වැය නොවන බවත්, පුද්ගලික පරිත්‍යාගශීලීන්ගේ මුදලින් ඩොලර් මිලියන 400ක් වැය කරමින් මෙය ඉදි කරන බවත් ට්‍රම්ප් පවසා ඇත.
මේ අතර තමන් සිදු කරන්නේ වසර ගණනාවකින් නඩත්තු නොකළ ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම පමණක් බව පවසන ට්‍රම්ප්, මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව පවසා ඇත.
මෙම උත්සව ශාලාව ඉදිකිරීම සඳහා ධවල මන්දිරයේ නැගෙනහිර කොටස දැනටමත් කඩා දමා ඇති බව සඳහන් වෙයි.
එහි විශාල වළක් හාරා ඇති අතර, ට්‍රම්ප් පවසන පරිදි එම උත්සව ශාලාවට යටින් අමෙරිකානු හමුදාව සඳහා දැවැන්ත ආරක්ෂිත මධ්‍යස්ථානයක් ද ඉදිවෙමින් පවතී.
විනිසුරුවරයා පවසන්නේ ජනාධිපතිවරයාට හිතුමතේ ධවල මන්දිරය වෙනස් කළ නොහැකි බවත්, නීතිමය අවසරය ලැබෙන තෙක් වැඩ නතර කළ යුතු බවත්ය.
නමුත් ට්‍රම්ප් පවසන්නේ මෙය රටේ ගෞරවය වෙනුවෙන් කරන වැදගත් ව්‍යාපෘතියක් බවයි.
මේ අතර, අභියාචනයක් සඳහා කාලය ලබා දෙමින් මෙම නියෝගය දින 14 කින් බලාත්මක වනු ඇති බවද සඳහන් වෙයි.
