මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් පංචිකාවත්තේ දී කොටුවෙයි
March 28, 2026 10:13 am
මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් පංචිකාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
පිටකොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක දී මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 34ක් වන පංචිකාවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
ඇය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 710 ක් මිලිග්‍රෑම් 603ක්, හෙරොයින් ග්‍රෑම් 934 මිලිග්‍රෑම් 575ක්, හෑෂ් ග්‍රෑම් 300 මිලිග්‍රෑම් 575ක් සොයා ගෙන ඇති බවද සඳහන් වේ.
එමෙන්ම මත්පෙති 300ක්, විද්‍යුත් තරාදියක්, මුදල් ගණනය කිරීමේ යන්ත්‍රයක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැලකෙන රුපියල් 8,59,730ක මුදලක් හා ජංගම දුරකථන 06ක් ද අදාළ කාන්තාව සතුව තිබී සොයා ගෙන ඇත.
සැකකාරිය අද (28) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පිටකොටුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.
