අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාලය ගැන ඔබ නොදන්න දේ
March 26, 2026 01:25 pm
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාලය පසුගිය වසරේ නොවැම්බර් මස 29 වෙනිදා ස්ථාපිත කරනු ලැබීය.
ඒ, දිට්වා සුළිකුණාටුවේ බලපෑමත් සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රට තුළ මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟය.
එහි කාර්යාලය අරලියගහ මන්දිරයේ නෙළුම් ගොඩනැගිල්ලේ පිහිටා ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් මඟින් සේවාවන් 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව එම සේවාවන්ට අදාළ අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු නිලධාරින් ඒ කාර්යාලයට අනුයුක්ත කර ඇත.
එමෙන්ම ත්‍රිවිධ හමුදා නිලධාරින්, පොලිස් නිලධාරියෙක් හා සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍යවරයෙක් යනුවෙන් සෑම ක්ෂේත්‍රයක් නියෝජනය වන පරිදි නිලධාරින් එම කාර්යාලයට අනුයුක්ත කර ඇති බව ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා කීය.
එම නිලධාරින්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ පළාත් ලේකම්වරුන් හරහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කරගමින් අත්‍යවශ්‍ය සේවාවන් බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යනු ලබයි.
අත්‍යවශ්‍ය සේවා සම්බන්ධයෙන් මහජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා 1904 යන අංකය ද හඳුන්වාදී තිබේ.
අත්‍යවශ්‍ය සේවා නීතිය උල්ලංඝන කිරීමක් සිදුවන්නේ නම් ඊට එරෙහිව මහජන ආරක්ෂක ආඥා පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ පියවර ගැනීමේ හැකියාව පවතියි.
එම පනත යටතේ දේපළ සම්පූර්ණයෙන් හෝ තාවකාලිකව පවරාගැනීම සහ සිරදඬුවම් නියම කළ හැකි බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
"මහජන ආරක්ෂක ආඥාපනත යටතේ හදිසි නීතියත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලයත් පිහිටුවනු ලැබුවේ. ඒක අනුව ඊට බාධා කරන පුද්ගලයින් ඉන්නවා නම් ඔවුන්ට මහජන ආරක්ෂක ආඥාපනත යටතේ සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ පියවර ගන්න පුළුවන්. දේපළ පවර ගන්න. තාවකාලිව පවරා ගැනීමට හැකියි. සිරදඬුවම් ලබාදීමට පුළුවන්. එවැනි දේවල්වලට අපි ගියේ නැහැ. රටේ ඇති වුණ විපත්ති තත්ත්වයක් මත තමයි මේක පිහිටවනු ලැබුවේ, ඒ නිසා අපි දුන්න නියෝග නිලධාරින් එහෙමම ක්‍රියාත්මක කළා."
