හෝමූස් හරහා යන්න ගිය පාකිස්තාන නැවක් ඉරානය හරවා යවයි

හෝමූස් හරහා යන්න ගිය පාකිස්තාන නැවක් ඉරානය හරවා යවයි

March 25, 2026   03:06 pm

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා පාකිස්තානය බලා යාත්‍රා කරමින් තිබූ බහාලුම් නෞකාවක් ඉරාන හමුදා විසින් ආපසු හරවා යවා තිබේ.

අදාළ නෞකාව සංක්‍රමණ අවසරයක් නොමැතිව සිය ජල තීරය හරහා ගමන්කිරිමට උත්සාහ දැරූ බව පවසමින් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) මෙම තීරණය ගෙන ඇත.

'සෙලන්' ලෙසින් හැඳින්වෙන අදාළ නෞකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් සාජා සිට කරච්චි දෙසට යාත්‍රා කරමින් සිට තිබේ.

නෞකාව සම්බන්ධයෙන් ගත් තීරණය පිළිබඳ 'X' අවකාශයේ සටහනක් තබමින් IRGC නාවික හමුදාපති අලිරේසා ටැංසිරි පවසා ඇත්තේ, තම නීතිවලට අනුකූල නොවීම සහ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවසර නොමැතිකම හේතුවෙන් අදාළ නෞකාව ආපසු හරවා යැවූ බවය.

"මෙම ජල මාර්ගය හරහා ඕනෑම යාත්‍රාවකට ගමන් කිරීමට නම් ඉරානයේ සමුද්‍රීය අධිකාරිය සමග පූර්ණ සම්බන්ධීකරණයක් අවශ්‍යයි. ඉරාන ප්‍රදානීන්ගේ අවසරයක් නොමැති කිසිදු යාත්‍රාවකට හෝමූස් පසුකර යා නොහැකිය.

'සතුරු නොවන' යාත්‍රාවලට ඉරාන බලධාරීන් සමග සාකච්ඡා කර (ඇතැම් අවස්ථාවල ඒ සඳහා ගෙවීමෙන්) සිය ජල තීරණය භාවිතාකළ හැකියි.

නමුත් සතුරන් සමග සබඳතා පවත්වන යාත්‍රාවලට ජල තීරය තරණය කිරීම තහනම්" යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.