න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන අති නවීන ප්‍රහාරක සබ්මැරීනයක් අරාබි මුහුදට

න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන අති නවීන ප්‍රහාරක සබ්මැරීනයක් අරාබි මුහුදට

March 22, 2026   03:48 pm

න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවට අයත් අති නවීන ප්‍රහාරක සබ්මැරීනයක් අරාබි මුහුදට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරානයට එරෙහිව දියත්කර ඇති යුද මෙහෙයුම් තීව්‍ර කරන බවට අමෙරිකාව විසින් සිදුකර ඇති තර්ජනය අතරතුර එම සබ්මැරීනය මෙලෙස අරාබි මුහුද වෙත පැමිණ තිබීම විශේෂත්වයකි.

ඔස්ට්‍රේලියාවේ පර්ත්හි සිට මාර්තු මස 06 වෙනිදා පිටත්ව ඇති HMS ඇන්සන් නම් බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවට අයත් සබ්මැරීනය හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්න, උතුරු අරාබියානු මුහුදේ ස්ථානගත කර ඇති බවට විශ්වාස කෙරේ.

කිලොමීටර් 1,600ක පමණ දුරකට ප්‍රහාර එල්ල කළ හැකි ටොමාහෝක් මිසයිල හා ටෝපිඩෝ වැනි ප්‍රහාරක අවි මෙම සබ්මැරීනය සතුවන බවට සැලකේ.

ප්‍රහාරක සබ්මැරීනය මෙලෙස මැදපෙරදිග කලාපයට පැමිණ ඇත්තේ ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා අමෙරිකාවට බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු භාවිත කිරීම සඳහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා එකඟතාව පළ කිරීමෙන් පසුව වීම ද විශේෂත්වයකි.