යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

March 19, 2026   06:15 am

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදු කරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (19) දින 20ක් ගතවී තිබේ.

-------------

Update - 8.00AM

ඉරානයේ සවුත් පාර්ස් ස්වභාවික වායු නිධියට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය විවේචනය කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් නිකුත් කර ඇත.

පර්සියානු ගල්ෆ් කලාපයේ බලශක්ති මධ්‍යස්ථාන වෙත ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාර මාලාවට මූලික හේතුව වූයේ ඊශ්‍රායලයේ මෙම ක්‍රියාව බව ඔහු පෙන්වා දෙයි.

තම Truth Social සමාජ මාධ්‍ය ජාලය හරහා ප්‍රකාශයක් නිකුත් කරමින් ට්‍රම්ප්මේ බව සඳහන් කර තිබේ.

---------------------

Update - 7.45AM

සෞදි අරාබියේ අගනුවර පිහිටි තෙල් පිරිපහදු මධ්‍යස්ථාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් පසු, අවශ්‍ය වුවහොත් ඉරානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ගැනීමට අයිතියක් ඇති බව සෞදි විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරු පවසයි.

රියාද් නුවර පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇමතූ ඔහු පවසා ඇත්තේ, ඉරානය සිය වැරදි තක්සේරු කිරීම් පිළිබඳව නැවත සමාලෝචනය කළ යුතු බවත්, මෙවැනි ප්‍රහාර මගින් ටෙහෙරානයට කිසිදු වාසියක් අත්නොවන බවත්ය.

-------------------

Update - 7.30AM

සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් එල්ල කරන ප්‍රහාර තහනම් කළ යුතු බව ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්‍රෝන් ප්‍රකාශ කර තිබේ. 

ඉරානයේ සහ කටාර්හි ගෑස් නිෂ්පාදන ප්‍රදේශවලට එල්ල වු ප්‍රහාරවලින් අනතුරුව ප්‍රංශ ජනාධිපතිවරයා එක් සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

-------------

Update - 6.30AM

ලොව විශාලතම ස්වභාවික වායු නිධිය ආශ්‍රිතව පිහිටි ඉරාන බලශක්ති මධ්‍යස්ථානයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 110 දක්වා ඉහළ ගොස් තිබේ.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල පසුගිය අඟහරුවාදා පැවති මිලට වඩා 5% කට වඩා වැඩි වෙමින් ඩොලර් 109.91 ක් ලෙස වාර්තා වී ඇති බව සඳහන් වේ.
-------------------

Update - 6.15AM

කටාර් රාජ්‍යයේ ප්‍රධාන LNG සැකසුම් මධ්‍යස්ථානය පිහිටි රාස් ලෆාන් කලාපයට ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් දැඩි හානි සිදුව ඇති බව කටාර් බලශක්ති සමාගම ප්‍රකාශ කර තිබේ.

මේ අතර, අද (19) අලුයම එල්ල වූ මිසයිල ප්‍රහාර කිහිපයක් මැඩපැවැත්වීමට පියවර ගැනීමෙන් පසු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයද ආරක්ෂිත පියවරක් ලෙස සිය ගෑස් පර්යන්ත වසා දැමීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.