රජයට දුන් කාලය අවසන් - සර්වජන බලය අවුරුදු නැකැත් සීට්ටුව සකස් කරයි
March 14, 2026 12:07 pm
සර්වජන බලයේ මැදිහත්වීමෙන් අද (14) ජනතාවට අවුරුදු නැකැත් සීට්ටුවක් සකස් කරදීමට පියවර ගෙන තිබේ.
ඒ, රාජ්‍ය නැකැත් කමිටුව පිහිටුවීමට රජය කඩිනම් පියවර නොගන්නේනම් සිය පක්ෂයේ මැදිහත්වීමෙන් ජනතාවට අවුරුදු නැකැත් සීට්ටුව සකස් කරදෙන බවට සර්වජන බලය මීට පෙර ලබාදුන් පොරොන්දුවකට අනුවය.
ඒ අනුව අද වනවිට සර්වජන බලය රජයට ලබාදුන් කාලය ඉක්මවා ගොස් ඇති බැවින් පොරොන්දු වු පරිදි සියලුදෙනාට එකඟ විය හැකි නැකැත් සීට්ටුවක් සකස් කරදෙන ලෙස සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ඇතුළු පිරිසක් පැපිලියාන සුනේත්‍රා මහාදේවි පිරිවෙන් රාජමහා විහාරයට පැමිණ පරිවේණාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් හමුවී ඉල්ලීමක් කළේය.
පසුව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ ආරාධනයට අනුව ජ්‍යෝතිර්වේදීන් 17 දෙනෙකු අද සුනේත්‍රා මහාදේවි පිරිවෙනට පැමිණ සාකච්ඡා කර සියලුදෙනාට එකඟ විය හැකි නැකැත් සීට්ටුවක් සකස් කිරීමට පියවර ගත්තේය.
ඒ අනුව සියලුදෙනාගේ එකඟතාවෙන් පසු එය ප්‍රකාශයට පත් කෙරුණි.
මේ අතර සංස්කෘතික දෙපාර්තමේන්තුව 2024 වසරේදී 'රාජ්‍ය නැකැත් කමිටුව' විසුරුවා හැරි අතර මේ දක්වා රජය නැවතත් නැකැත් කමිටුවක් පත් කර නොමැත.
මෙවර අවුරුදු නැකැත් ප්‍රකාශයට පත් කෙරුණේ පෝය කමිටුවේ සාමාජිකයන් විසින් බවත්, රාජ්‍ය නැකත් කමිටුවක් පත්කිරීමට රජය වහා කටයුතු කළ යුතු බවත් පවසමින් ජ්‍යෝතිර්වේදීන් පිරිසක් ද ඉකුත් අඟහරුවාදා (10) රජයට සිය අප්‍රසාදය පළ කර තිබුණි.
ඒ අතර ජ්‍යෝතිර්වේදීන් සහ සමාජ ක්‍රියාකාරීන් පිරිසක් ද බුද්ධශාසන අමාත්‍යාංශයට ගොස් රාජ්‍ය නැකැත් කමිටුව වහා සක්‍රීය කරන ලෙස ඉල්ලා තිබුණි.
මෙවන් පසුබිමක සර්වජන බලයේ මැදිහත්වීමෙන් ජනතාවට අවුරුදු නැකැත් සීට්ටුවක් සකස් කරදීමට කටයුතු කළේය.
