ශෂීන්ද්‍ර ඇතුළු සැකකරුවන්ගේ විමර්ශන අවසන් - අධිකරණයට දැනුම්දීමක්

ශෂීන්ද්‍ර ඇතුළු සැකකරුවන්ගේ විමර්ශන අවසන් - අධිකරණයට දැනුම්දීමක්

March 13, 2026   11:28 am

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන මේ වන විට ඇපමත මුදාහැර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන්ට අදාළ විමර්ශන කටයුතු අවසන් කර ඇතැයි අල්ලස් කොමිසම අද (13) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ. 

අදාළ නඩුකරය කැඳවූ අවස්ථාවේදී ඇපමත මුදා හැර සිටින සැකකාර ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු පිරිස අධිකරණය හමුවේ පෙනී සිටි බව අද දෙරණ වාර්තාකරු පැවසීය. 

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර විමර්ශන ගොනු අල්ලස් කොමිෂන් සභාව වෙත යොමු කර තිබෙන බවත් එම කටයුතුවල ප්‍රගතිය දැනුම්දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය. 

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල යළි ජුලි මස 10 වනදා කැඳවන ලෙස නියම කළේය.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවනගල ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපොළ ඉකුත් අරගල සමයේ විනාශයට පත් වීමෙන් අනතුරුව හානි පූර්ණ කාර්යාලය නිලධාරීන්ට බලපෑම් කර එම දේපළ වෙනුවෙන් රුපියල් 88,50000 ක වන්දි ලබාගත් බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු තිදෙනකුට එරෙහිව අල්ලස්කොමිසම විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.