විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව කලාපීය වටමේස සාකච්ඡාවට ශ්‍රී ලංකාව එක්වෙයි 

විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව කලාපීය වටමේස සාකච්ඡාවට ශ්‍රී ලංකාව එක්වෙයි 

March 12, 2026   01:39 pm

විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා තායිලන්තයේ බැංකොක් නුවර පසුගිය 10 වෙනිදා පැවැති විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව කලාපීය වටමේස සාකච්ඡාවට එක්විය. 

ඒ, මෙරට තුළ විවෘත පාලනය, විනිවිදභාවය සහ වගවීම තහවුරු කිරීමේ අරමුණින්ය.

මෙම වටමේස සාකච්ඡාව සංවිධාන කර තිබුණේ, එක්සත් රාජධානියේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනම (Westminster Foundation for Democracy - WFD) විසිනි. 

මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, මාලදිවයින සහ තායිලන්තය යන රටවල ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති සම්පාදකයින් සහ නියෝජිතයින් සහභාගී වූහ.

ශ්‍රී ලංකාව මින් පෙර විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව (OGP) ක්‍රියාවලියෙන් අක්‍රීය වී තිබූ අතර, එය නැවත සක්‍රීය කිරීම සහ ඒ සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමේ මාර්ග සිතියම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. 

කලාපීය අසල්වැසි රටවල් විවෘත පාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ලබා ඇති සාර්ථකත්වයන් සහ අභියෝග පිළිබඳ අත්දැකීම් බෙදාහදා ගැනීම මෙහි ප්‍රධාන අරමුණක් වේ. 

විවෘත පාලන ප්‍රතිසංස්කරණ සඳහා දේශපාලන නායකත්වයේ සහයෝගය ලබා ගැනීම සහ එම ප්‍රතිසංස්කරණ හුදෙක් ලේඛනවලට පමණක් සීමා නොවී ප්‍රායෝගිකව ජනතාව වෙත සමීප කරවන ආකාරය පිළිබඳව අවධානය යොමු කෙරිණි.

මෙම වටමේස සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමණික්කම් මහතා, OGP ආසියා පැසිෆික් කලාපීය ප්‍රධානී ස්වාති මෙහෙතා සහ එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ (FCDO) නියෝජිතයින් ද එක්ව සිටියහ.