මත්ද්‍රව්‍ය සහ ආයුධ සහිත යාත්‍රා 2 ගැන ආරක්ෂක නි. ඇමතිගෙන් අනාවරණයක්
March 12, 2026 02:17 pm
දිවයිනට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය සහ ආයුධ සමග යාත්‍රා කරමින් තිබියදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රා 2 අද (12) දික්ඕවිට ධීවර වරායට රැගෙන ඒමෙන් අනතුරුව ඒවා නිරීක්ෂණය සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා එක්විය.
එහිදී මාධ්‍යට අදහස් දැක්වූ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා,
"මේ ඔබ දකින්නේ ඉතාම හොඳන් සැලසුම් කරන ලද සහ දින ගණනාවක් මුහුදේ ආවේක්ෂණ කටයුතු කරන ලද මෙහෙයුමක ප්‍රතිඵල. ඒක එක රැයකින් කරපු දෙයක් නෙමෙයි. දේශීය මෙන්ම විදේශීය ආයතනවල සහාය ඇතුව කරපු දෙයක්. මත්ද්‍රව්‍ය, ගිනිඅවි, චන්ද්‍රිකා දුරකථන සහිත ධීවර යාත්‍රා 2ක්. මේකේ අරමුණ මොකක්ද කියලා අපිට හිතා ගන්න පුළුවන්."
එහි තිබී හොරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 600කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 10ක් පමණ වන බව වාර්තා වෙයි.
එමෙන්ම එම යාත්‍රාවේම තිබී පිස්තෝල ගිනිඅවි 8ක්, ඒවාට යොදන මැගසින්, T56 ගිනිඅවි 2ක් සහ M16 වර්ගයේ ගිනිඅවියක් ද නාවික හමුදා භාරයට ගෙන ඇත.
අදාළ ධීවර යාත්‍රා දෙකෙහි සිටි සැකකරුවන් 10දෙනෙකු ද නාවික හමුදා අත්අඩංගුවට ගැනුණි.
නාවික හමුදාව විසින් මේ වසරේ මේ දක්වා සිය භාරයට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය මෙය බවටද පැවසෙයි.
