ඉන්දියාව චීන ආයෝජන සඳහා නීති ලිහිල් කරයි
සයුරෙන් එතෙර

ඉන්දියාව චීන ආයෝජන සඳහා නීති ලිහිල් කරයි

March 12, 2026   01:06 pm

දැඩි සීමාවන් ලිහිල් කරමින් ඉන්දීය මධ්‍යම රජය විශේෂ සංශෝධනයක් ප්‍රකාශයට පත්කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ විශේෂයෙන් චීනයෙන් පැමිණෙන විදේශීය සෘජු ආයෝජන සම්බන්ධයෙන් 2020 වසරේ පනවා තිබූ දැඩි සීමාවන් ලිහිල් කරමින් ඉන්දීය මධ්‍යම රජය මෙම විශේෂ සංශෝධනය ප්‍රකාශයට පත්කර ඇති බවය.

මින් පෙර මෙම රටවලින් ආයෝජනය කිරීමේදී සෑම අවස්ථාවකම රජයේ පූර්ව අනුමැතිය අවශ්‍ය වුවද, නව සංශෝධනයට අනුව ඇතැම් ක්ෂේත්‍ර සඳහා එම ක්‍රියාවලිය වඩාත් සරල වනු ඇති.

2020 වසරේදී කොවිඩ් වසංගතය අතරතුර ඉන්දීය සමාගම් විදේශීය ආයෝජකයින් විසින් අත්පත් කරගැනීම වැළැක්වීමට මෙම සීමාවන් පනවා තිබුණි.

කෙසේවෙතත් ඉන්දියාවේ නිෂ්පාදන ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සහ විදුලි වාහන (EV), ඉලෙක්ට්‍රොනික උපාංග වැනි උසස් තාක්ෂණික අංශවලට අවශ්‍ය ආයෝජන පහසුවෙන් ලබාගැනීම මෙහි අරමුණ වෙයි.

2020 වසරේ සිට චීන ආයෝජන ඩොලර් බිලියන ගණනක් රජයේ අනුමැතිය ලැබෙන තෙක් සිරවී තිබුණි. මෙම ලිහිල් කිරීමත් සමඟ එම ආයෝජන නැවත ඉන්දියාවට ගලා ඒමට පටන් ගනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.