වාණිජමය නොවන ආයතන සම්බන්ධයෙන් පත්කළ නිලධාරි කමිටුව ජනපති හමුවෙයි

වාණිජමය නොවන ආයතන සම්බන්ධයෙන් පත්කළ නිලධාරි කමිටුව ජනපති හමුවෙයි

March 11, 2026   04:03 pm

රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණයට පත්කළ නිලධාරි කමිටුව ඊයේ (10) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.

අදාළ ආයතන පිළිබඳව පසුගිය වසරේ මාර්තු 17වනදා අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද තීරණය ක්‍රියාත්මක කිරීම අධික්ෂණයට, අග්‍රාමාත්‍ය ලේකම්ගේ සභාපතිත්වයෙන් පත්කළ නිලධාරි කමිටුව ජනාධිපති කාර්යාලයේදී මෙලෙස රැස්ව ඇත.

රජයට අයත් වාණිජමය නොවන ආයතන තත්කාලීන අවශ්‍යතාවලට ගැළපෙන අයුරින් යාවත්කාලීන නොවීම, පැවරී ඇති බලතල ප්‍රමාණවත් නොවීම හෝ නොගැළපීම, එම ආයතන වෙත පැවරී ඇති කාර්යය පෞද්ගලික අංශය විසින් වඩාත් කාර්යක්ෂම අයුරින් ඉටුකරනු ලැබීම සහ එකම හෝ සමාන හෝ කාර්යයන් ඉටුකරන ආයතන කිහිපයක් පැවතීම ආදී කරුණු සලකාබලා අමාත්‍ය මණ්ඩලය, රජයට අයත් වාණිජමය නොවන ආයතන 124ක් සම්බන්ධයෙන් කාණ්ඩ 09ක් යටතේ ගත යුතු ඉදිරි ක්‍රියා මාර්ග පිළිබඳ තීරණ ලබා දී ඇත.

එම තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය කාර්තුමය වශයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තා කිරීමේ වගකීමද උක්ත නිලධාරි කමිටුව වෙත පවරා ඇත.  

එම කමිටුවෙහි අධීක්ෂණය අනුව අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීමේ වර්තමාන  තත්ත්වය, ඇතැම් ආයතනවලට අදාළ තීරණ ක්‍රියාත්මක කිරීමේදී පැන නැගී ඇති ගැටලු සහ එම ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා මෙම කමිටුව ජනාධිපතිවරයා විසින් කැඳවා තිබේ.

කමිටුවේ සභාපති අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා සහ කමිටුවේ සෙසු සාමාජිකයන් වන කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජේ.එම්.ටී. ජයසුන්දර, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී අපෝන්සු, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (අභ්‍යන්තර පාලන) හිරන්සා කළුතන්ත්‍රි, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන්, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බී.ටී.ඒ. රුද්‍රිගෝ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සහ කමිටුවේ කැඳවුම්කරු සාගරිකා බෝගහවත්ත යන මහත්ම මහත්මීහු මෙන්ම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියහ.