ශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව ක්‍රමයෙන් පහළට

ශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව ක්‍රමයෙන් පහළට

March 4, 2026   02:00 pm

ශ්‍රී ලංකාවේ දරු උපත් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ  විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ සුනිල් විජේසිංහ මහතා පැවසුවේ ලක්ෂ තුන හමාරක්ව පැවති උපත් ප්‍රමාණය මේවනවිට ලක්ෂ දෙක හමාරකට අඩු වී ඇති බවය.

එමෙන්ම එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා පැවසුවේ දරු උපතක් බලාපොරොත්තුවෙන් සිටින මවක් තම උසට සරිලන බරක් නිසිලෙස පවත්වා ගැනීව ඉතාම වැදගත් වන බවය.

"නිරෝගී මවක් බිහිවන්නේ නිරෝගී ගැහැණු දරුවෙක් තුළින්. මොකද අවුරුදු 12- 14 වයසේ සිට වැඩි වියට පත්වන දවසේ සිට ඒ දරුවා නිරෝගී තත්ත්වයකින් පසුවනවා නම් ඉතාමත්ම වැදගත් වෙනවා.  දියවැඩියාව හරි දියවැඩියාවට අවතීර්ණ වන කාලයේ පවතින ගර්භණි මවකට විවිධ සංකූලතා සමග දරුවන් ඇති වෙනවා.  මූලික අඩිතාලම වෙන්න ඕනේ නිසි බරක් සහිත නිසි බරට සරිලන උසක් පවතින කාන්තාවක් ගර්භණිභාවයට පත්වෙන එක තමා වැදගත්. 

ෆෝලික් ඇසිඩ් අඩුවුණොත් කොඳුනාරටියේ දුර්වලතා ඇතිවිය හැකියි. සුෂුම්නාව ස්නායු පද්ධතියේ යම් දුර්වලතාවයන් ඇති වෙන්න පුළුවන්. කාන්තාවක් ගර්භණිභාවය පත් වුණා කියලා දැනගන්නකොටත් දරුවාගේ ස්නායු පද්ධතිය වර්ධනය වෙලා ඉවරයි. ඒ අවස්ථාවේදී ගැනීමක් වැඩක් වෙන්නේ නෑ. විශේෂයෙන් විවාහයට පත් වෙලා දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න පවුලක් ඒ ෆෝලික් ඇසිඩ් නිතිපතා ලබා ගන්නවානම් ඉතාමත්ම වැදගත්. මොකද ආරම්භ වෙන්න ඕනේ එතනදී."