සංචාරක පැමිණීමේ ඉලක්කවලට බාධා - සතියකට පාඩුව ඩොලර් මිලියන 10ත් 12ත් අතර අගයක්
March 3, 2026 03:12 pm
මැදපෙරදිග ඇති වූ යුදමය වාතාවරණය හමුවේ මාර්තු මාසයේ දී බලාපොරොත්තු වූ සංචාරකයින්ගේ පැමිණීමේ ඉලක්කයන් සපුරාගැනීමට නොහැකි වූ බව සංචාරක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි.
අද (03) කෙළඹදී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ වැඩිම සංචාරක වෙළෙඳපොළ වන්නේ ඉන්දියාව බවත් ඉන්දියාවෙන් පැමිණෙන සංචාරකයින්ගේ පැමිණිමට කිසිදු බලපෑමක් සිදුව නොමැති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
එමෙන්ම යුරෝපා රටවල් සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම හරහා සෘජුවම ගුවන් ගමන් ඇරඹීමට මේ වන විට කටයුුතු යොදා ඇති බැවින් ඉදිරියේදී යුරෝපයෙන් පැමිණෙන සංචාරකයින්ට කිසිදු ගැටලුවකින් තොරව ශ්‍රී ලංකාවට පැමිණීමට සහ නැවත පිටත්ව යාමට හැකි බව ඒ මහතා වැඩිදුරටත් පවසයි.
"මාර්තු මාසේ තමයි අපි ඉතිහාසයේ වැඩිම ලක්ෂ 3ක් වැනි සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට ආකර්ශනයකර ගන්න බලාපොරොත්තුවෙන් හිටියා. නමුත් යම් අඩුවීමක් තියෙනවා. යුරෝපාකරයෙන් සංචාරකයින් පැමිණෙන්නේ මැදපෙරදිග හරහා. ඉතින් ඩුබායි, අබුඩාබි, කාටර් වැනි ගුවන්තොටුපොළවල් වසා දැමීමත් එක්ක අඩුවක් තියෙනවා. නමුත් වැඩිම වෙළෙඳපොළ අපේ ඉන්දියාව නිසා අපේ විශාලම වෙළෙඳපොළට ගැටලුවක් නෑ. එවගේම චීනය, ඔස්ට්‍රේලියාව,නවසීලන්නය, අමෙරිකාව මේ වගේ රටවලින් පැමිණෙන සංචාරකයින් සාමාන්‍ය ලෙස පැමිණෙනවා. යුරෝපයටත් සෘජු ගුවන් ගමන් දැන් ශ්‍රී ලන්කන් ආරම්භ කරලා තියෙනවා අනෙකුත් ගුවන් මාර්ග හරහා. ඒ අනුව එහෙන් පැමිණෙන අයටත් මෙහෙන් යන්න ඉන්න අයටත් යම් පහසුවක් අපි සලසල තියෙනවා ශ්‍රී ලන්කන් හරහා. තවමක් ඉතිහාඩ්, කටාර් වැනි ගුවන් සමාගම් සිය මෙහෙයුම් ආරම්භ කරලා නෑ."
"දවසකට 25ක් 30ක් අතර සංඛ්‍යාවක් මැදපෙරදිග හරහා එනවා. මේ වෙනකොට පැමිණෙන්නේ නෑ. ශ්‍රී ලංකාවේ සතියකට සංචාරක කර්මාන්තයට අදාළව ඩොලර් මිලියන 10ක 12ක වගේ අහිමිවීමක් අපිට සිදුවෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ යුද්ධය අදාළ පාර්ශව විසින් සාකච්ඡා කරලා අවසාන වෙයි කියලා. "
"එමෙන්ම මැදපෙරදිග ඉන්න ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙනුක් අපි ඉතාම අවධානයෙන් ඉන්නවා. මෙරටට ඒමට අවශ්‍යතාවයක් තියෙන අයට තානාපති කාර්යාල හරහා සම්බන්ධවෙලා ඒ කටයුතු කරගන්න. රජයක් විදියට අපි ඒකට මැදිහත් වෙලා කටයුතු කරන්න සූදානමෙන් ඉන්නවා."
"සංචාරක පැමිණීමෙන් 30%ක් පමණ තමා මැදපෙදිගින් පැමිණෙන්නේ. එමෙන්ම මැදපෙරදිග වැසියන් එන්නේ නෑ එයාල රාමදාන්වල ඉන්න නිසා. මැදපෙරදිග හරහා යුරෝපයෙන් එන අයට තමා මේ බලපෑම ඇති වෙලා තියෙන්නේ. අනිත් එවාගේ කිසිදු ගැටලුවක් නෑ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙනවා."
