ඊශ්‍රායල ගුවන් හමුදාවෙන් ටෙහෙරානයට අදත් ගුවන් ප්‍රහාර මාලාවක්

ඊශ්‍රායල ගුවන් හමුදාවෙන් ටෙහෙරානයට අදත් ගුවන් ප්‍රහාර මාලාවක්

March 1, 2026   04:03 pm

ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) විසින් ඉරාන අගනුවර වන ටෙහෙරානය ඉලක්ක කර ගනිමින් නැවතත් ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ. මෙය ඊශ්‍රායලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘රෝරිං ලයන්’ (Roaring Lion) හමුදා මෙහෙයුමේ තීරණාත්මක පියවරක් ලෙස සැලකේ.

ඊශ්‍රායල ආරක්ෂක බලකාය නිකුත් කළ නිල නිවේදනයක දැක්වෙන්නේ, "මෙහෙයුම ආරම්භ වූ දා සිට ප්‍රථම වතාවට, ටෙහෙරාන් නුවර මරමස්ථානයක පිහිටි ඉරාන තේරස්වාදී පාලන තන්ත්‍රයට අයත් ඉලක්ක වෙත ඊශ්‍රායල ආරක්ෂක බලකාය විසින් ප්‍රහාර එල්ල කරමින් සිටින" බවයි.

අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව එල්ල කළ ඒකාබද්ධ ප්‍රහාරයකින් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මියගිය බවට වාර්තා පළ වූ අතර පසුව ඉරාන රජයේ මාධ්‍ය මෙය තහවුරු කළේය.

පසුගිය පැය 24 පුරා ඊශ්‍රායල ගුවන් හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇත්තේ කලාපයේ ගුවන් ආධිපත්‍යය තහවුරු කර ගැනීමට සහ ටෙහෙරානය දක්වා ගමන් කිරීමට අවශ්‍ය මාවත සකසා ගැනීමට බව ඊශ්‍රායල ආරක්ෂක බලකාය ප්‍රකාශ කරයි.

අද උදෑසන ටෙහෙරානයේ ස්ථාන කිහිපයකින් ප්‍රබල පිපිරුම් වාර්තා වූ අතර සමාජ මාධ්‍යවල සංසරණය වන ඡායාරූපවල නගරයේ විවිධ ප්‍රදේශවලින් ඝන දුමාරයක් මතුවන අයුරු දැකගත හැකිය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම මෙහෙයුම 'ඔපරේෂන් එපික් ෆියුරි' (Operation Epic Fury) ලෙස හඳුන්වන අතර, ඉරානයේ මිසයිල පද්ධති සහ මිලිටරි හැකියාවන් විනාශ කිරීම මෙහි අරමුණ බව පවසා ඇත.

මෙම ප්‍රහාරත් සමඟ මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වය දැඩි උත්සන්න වීමකට ලක්ව ඇති අතර, ඉරානය මෙයට පෙරළා දැවැන්ත ප්‍රහාරයකින් ප්‍රතිචාර දක්වන බවට අනතුරු අඟවා ඇත.