අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරුව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
February 22, 2026 03:11 pm
අකුරේගොඩදී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව ඊයේ (21) අම්බලන්ගොඩ දෙල්දූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබේ.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඇති බලතල අනුව මෙලෙස සැකකරු දින 90 ක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර ලැබුණු බව හෝමගම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි.
මෙම සැකකරු ඝාතනයට සම්බන්ධ වූ එක් වෙඩික්කරුවෙක් බව පොලීසිය පවසයි.
අම්බලන්ගොඩ දෙල්දූවේ ප්‍රදේශයේ දී ඊයේ පස්වරු 6.20ට පමණ අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ , හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.
නීතීඥවරයාට ටී-56 ගිනිඅවියෙන් වෙඩිතැබීම සිදුකර ඇත්තේ මෙම සැකකරු බව පැවසේ.
46 හැවිරිදි සුනිල් රංජිත් නම් එම සැකකරු 2009 වසරේදී ලබාදුන් පොදු සමා කාලයේදී යුද හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් වූ අයෙකි.
අම්බලන්ගොඩ, දෙල්දූව ප්‍රදේශයේ තම මිතුරෙකුගේ නිවසක නැවතී හිඳිමින් යාබද කුරුඳු ඉඩමක වැඩකටයුතු කරමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී ඔහු අදාළ ඝාතනය සිදුකළේ යැයි පිළිගත් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
අදාළ ඝාතනයෙන් පසුව තමන් කොට්ටාවට ආසන්න ස්ථානයකදී මෝටර් රථයෙන් බැස බස් රථයක නැග අම්බලන්ගොඩට පැමිණි බව සැකකරු පවසා ඇත.
දැඩි මත්ලෝලියෙකු වන සැකකරු කරන්දෙණියේ සුද්දා සමග සෘජු සබඳතා ඇති අයෙක් බව පොලීසිය පවසයි.
මෙම ඝාතනය ද කරන්දෙණියේ සුද්දා දුරකථනයෙන් තමන් අමතා ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත සිදුකළ එකක් බව සැකකරු පවසා ඇත.
ඝාතනයෙන් අනතුරුව සුද්දා තමන්ට රුපියල් ලක්ෂයක මුදලක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ලබාදුන් බවද සැකකරු පොලීසියට පවසා තිබේ.
එමෙන්ම ඔහුට මින් පෙරත් අවශ්‍ය සෑම අවස්ථාවකදීම කරන්දෙණියේ සුද්දා මුදල් ලබා ඇති බවත් විමර්ශනවලදී හෙළිවී තිබේ.
ඒ අනුව පොලීසිය සැකපළ කරන්නේ මොහු කරන්දෙණියේ සුද්දාගේ කුලී ඝාතකයෙකු ලෙස කටයුතු කර ඇති බවය.
කෙසේවෙතත් ඔහු සිදුකළ වෙනත් ඝාතන සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණ වී නොමැති බව සඳහන් වේ.
බස්නාහිර පළාත දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර මහතාගේ උපදෙස්මත හෝමාගම කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ලියනගේ මහතාගේ අධීක්ෂණයෙන් හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති අමිල් ගෝවින මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක ආර්.එම්.ආර් චතුරංග ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ රාත්‍රියේ විමර්ශන සඳහා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන වීත් තිබුණි.
අකුරේගොඩ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථ ගාලේදී පසුගියදා නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කළේය.
පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් 12කින් විමර්ශන ක්‍රියාත්මක කෙරුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙසට වෙඩික්කරුවෙක් ඇතුළු සැකකරුවන් 9දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව ඝාතනයේ ගිනිඅවි ප්‍රවාහනය කරමින් නීතිඥවරයාගේ වාහනය ගැන ඔත්තුව දුන් අතුරුගිරියේ පදිංචි එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙක් සහ එය සම්බන්ධීකරණය කළ ''පොල්ගස්ඕවිට ඩිලා'' මූලික විමර්ශනවලදී අත්අඩංගුවට ගැනුණි.
එමෙන්ම, පොලිස් විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකය මගින් කහදූව ඇත්කඳුර ප්‍රදේශයේදී මෙම සිද්ධියට ආධාර අනුබලදුන් තවත් සැකකරුවන් 06 දෙනෙකුද ඊයේ පස්වරුව වනවිට අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ අතරතුරදී මෙම ඝාතනයේ එක් වෙඩික්කරුවෙක් පන්නිපිටියේ හෝටලය වෙත රැගෙන ආ පුද්ගලයා කටුනායක ගුවන්තොටුපොළින් තායිලන්තය බලා පලාගොස් ඇති බව අනාවරණය වී තිබේ.
