සරත් ෆොන්සේකාගේ ප්‍රකාශයට නාමල්ගෙන් පිළිතුරු
February 21, 2026 06:10 pm
මහින්ද රාජපක්ෂ මනුෂ්‍ය ඝාතකයෙක් නොවන බව සරත් ෆොන්සේකා මහතාම පැවසීම ඉතා හොඳ කාරණයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍යවේදීන් විසින් යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ
"සරත් ෆොන්සේකට එතුමාට අන්දෝලනාත්මක වෙන්න පුළුවන් හැබැයි මීට පෙර යුද්ධය පවතින අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විවෘතව මාධ්‍ය ප්‍රකාශයක් කළා ප්‍රභාකරන්ට ඉතුරු වෙලා තියෙන්නේ ආයුධ බිම තියලා එන්න විතරයි කියලා. හමුදාවට භාර වෙන්න විතරයි කියන එක ඒක අලුත් කාරණයක් නෙවෙයි. තවත් පැත්තකින් සරත් ෆොන්සේකා මහත්තයා කියනවා සුදු කොඩි අරගෙන එනකොට මහින්ද රාජපක්ෂ අහිංසක මිනිස්සුන්ට වෙඩි තියන්න අණ දුන්න කියලා. අපි පැහැදිලිව කියන්න ඕන අපි සටන් කළේ දෙමළ ජනතාව එක්ක නෙවෙයි. අපි සටන් කළේ LTTE ත්‍රස්තවාදීන් එක්ක. ඒත් ත්‍රස්තවාදීන් පරාජය කරන්න මේ රටේ රණවිරුවෝ දහස් ගණනක් ජීවිත පූජා කළා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ එකම අරමුණ තිබ්බේ අවම හානියකින් අවම ජීවිත ගාණක් පරිත්‍යාග කරමින් ඒ ත්‍රස්තවාදය අවසන් කරන්න. ඒ සඳහා ගත යුතු හැම කාරණයක්ම ගත්තා. මම එක පැත්තකින් ස්තූතිවන්ත වෙනවා ෆොන්සේකා මහත්මයාට ඔය ඩයස්පෝරාව සහ මේ ජවිපෙ ආණ්ඩුව සහ LTTE ඩයස්පෝරාව කියන විදියට මහින්ද රාජපක්ෂ ලේ පිපාසයෙන් ඉන්න මිනී මරන්න ආස කරන කෙනෙක් නොවන බවට ෆොන්සේකා මහත්තයා අද තහවුරු කරලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයගේ එකම අරමුණ තිබ්බේ වැඩිම ජීවිත ගණනක් නැති කරපු, ඝාතනය කරපු, දේපළ විනාශ කරපු, රාජ්‍ය නායකයා බවට පත්වෙන්න නෙවෙයි. මේ රටේ වැඩිම අහිංසක මිනිස්සුන්ගේ ජීවිත බේරගත්ත නායකයා බවට පත්වෙන්න. නිදහස ගෙනාපු නායකයා බවට පත්වෙන්න. ලංකා ඉතිහාසයේ බස් ගිනි තියලා ගෙවල් ටික ගිනි තියලා කාර්යාල ගිනිතියලා තැපැල් කන්තෝරු ගිනි තියලා මහා සංඝරත්නය ඝාතනය කරපු රාජ්‍ය නායකයෙක් නෙවෙයි. ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරපු, අධිවේගී මාර්ග හදපු, ගුවන්තොටුපලවල් හදපු ඒ කාලේ තිබුණු ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන රට බවට පත් කරන නායකයා බවට පත්වෙන්න. පැහැදිලිවම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉලක්කය තිබ්බේ මේ රටේ අවම ජීවිත හානියකින් නිදහස ලබාදෙන්න. ඉතිං ඒ අරමුණට එතුමා ගියා. දැන් ඔය හැමෝම බල්ටි ගහන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සහ රණවිරුවෝ ලබා දුන්න නිදහස මතයි.
ආණ්ඩුවට සම්බන්ධ බොහෝ අය මහා සංඝරත්නය දකින්නේ රාජපක්ෂ නිකායේ විදිහට. ඒක ඒ අයගෙන් මානසිකත්වය. මොකද එක පැත්තකින් මහා සංඝරත්නයට අපහාස කිරීම ඒ අයගේ සම්ප්‍රදාය බවට පත්වෙලා තියෙනවා. ඒ හින්දා තමයි ආණ්ඩුවේ සමහර මන්ත්‍රීවරු මහා සංඝරත්නයට නම කියලා අමන්ත්‍රණය කරන්නේ. අපේ හාමුදුරුවනේ කියලා කියන්නේවත් නැහැ. එදා වේදිකාවේ අපේ හාමුදුරුවනේ කියන වචනෙත් විහිළුවට ලක් කළා. ඒ වගේම තමයි අනෙක් ආගමික නායකයින්වත් විවේචනයට ලක් කරනවා. ඉස්ලාම් ආගමික නායකයෝ වෙන්න පුළුවන්, හින්දු ආගමික නායකයෝ වෙන්න පුළුවන්, කතෝලික ආගමික නායකයෝ වෙන්න පුළුවන්, ආණ්ඩුවට පුදුම ප්‍රශ්නයක් තියෙන්නේ මේ ආගමික නායකයෝ එක්ක. අපි පැහැදිලිවම මේ රටේ සියලු ආගම්වල ගරුත්වය ආරක්ෂා කළ යුතුයි. ඒ වගේම මේ රට බෞද්ධ රටක්. හෙළ සංස්කෘතියෙන් ගොඩ නැගිච්ච රටක්. ඒ බෞද්ධාගම සහ ඒ සංස්කෘතිය ආරක්ෂා වීම තුළ තමයි මේ රටේ අනෙකුත් සියලුම ආගම් ආරක්ෂා වෙලා තියෙන්නේ. ඒක හංගන්න ඕන කාරණයක් නෙවෙයි. මොකද ඒක ජාතිවාදය නෙවෙයි. ජාතිවාදය කියන්නේ උතුරට ගිහිල්ලා එක් ජාතියක් විවේචනය කරන්න තවත් ජාතියක් විවේචනය කරලා දේශපාලන වාසි ගන්න එකට. එහෙම නැත්නම් මම බෞද්ධයෙක් නම් මට කොන්ද පණ තියෙන්න ඕන මං බෞද්ධයෙක් කියලා කියන්න. ඉතින් බෞද්ධකම ආරක්ෂා කරනවා කියන්නේ අනෙක් ආගම්වලට ගරු කරනවා කියන එක. හැම ආගමේම අයිතිය ආරක්ෂා කරනවා කියන එක. ආණ්ඩුවට සහ ආණ්ඩුවට සම්බන්ධ සමහර අයට කියන්නේ මේ ගරුතර මහා සංඝරත්නය විවේචනය කරන එක නවත්තන්න. ඒ විවේචනය කිරීම තුළ ඔබ ඉටු කරන්නේ මේ රට දෙකඩ කරන්න. මේ රටේ ආගම් ජාතීන් අතර අර්බුදයක් ඇති කරන්න උත්සාහ කරන අන්තවාදීන්ගේ අවශ්‍යතාවය ඉටු කරනවා මිසක් මෙරට ජනතාවට සාධාරණයක් ඉටු කරන එක නෙවෙයි."
