මෙම වසර තුළ ගුරුවරුන් 23,000කට වැඩි පිරිසක් බඳවා ගැනීමට පියවර
February 20, 2026 04:45 pm
මෙම වසර තුළ ගුරුවරුන් 23,000කට වැඩි පිරිසක් බඳවා ගැනීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
පසුගිය 18 වැනිදා පැවැති අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
එහිදී අග්‍රාමාත්‍යවරිය පැවසුවේ ගුරුවරුන් 23,000කට වැඩි පිරිසක් බඳවා ගැනීම සඳහා මේ වන විට අනුමැතිය ලැබී ඇති බවත් මෙම වසර තුළ එම බඳවා ගැනීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට පියවර ගනිමින් සිටින බවත්ය.
මේ තුළින් දැනට පවතින ගුරු හිඟය මෙන්ම ගුරු මාරුවීම් සම්බන්ධ ගැටලු සැලකිය යුතු ලෙස අවම වනු ඇති බවත් ඒ අනුව විවෘත සහ සීමිත පදනම යටතේ විභාග පවත්වමින් මෙලෙස උපාධිධාරීන් බඳවා ගැනීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
තවද අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ පිහිටුවා ඇති ‘අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකාරක සභාවේ’ සභාපති නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුවේ වාර්තාව අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරන ලදී.
අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ පිහිටුවා ඇති අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනු කාරක සභාව විසින් පත් කළ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුව විසින් සාකච්ඡා වට ගණනාවකින් පසු මෙම වාර්තාව සකස් කරන ලද අතර, ඒ අනුව අදාළ වාර්තාව අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කර ප්‍රසිද්ධ දැන්වීම් මගින් එම වාර්තාව පිළිබඳ මහජන අදහස් සහ යෝජනා ලබාගැනීම සඳහා මාසයක කාලයක් ලබා දීමට මෙහිදී තීරණය විය.
මේ අතර, උසස් අධ්‍යාපන අංශය පිළිබඳ අනුකාරක සභාවේ ප්‍රගතිය එම අනු කාරක සභාවේ සභාපති, නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා විසින් ද පාසල්වල පවතින මානව සම්පත් ඌනතාවය පිළිබඳ අනුකාරක සභාවේ ප්‍රගතිය එම අනු කාරක සභා සභාපති නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙනෙවිය විසින් ද ඉදිරිපත් කරන ලදී.
එසේම, පාසල්වල පවතින භෞතික සම්පත් ඌනතාවය පිළිබඳ අනුකාරක සභාවේ ප්‍රගතිය එම අනු කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්රීනී සමන්මලී ගුණසිංහ මහත්මිය විසින් ඉදිරිපත් කිරීම මෙහිදී සිදුවිය.
තවද ජාතික හා පළාත් මට්ටමින් මෙම අමාත්‍යාංශයට අදාළ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන ලද විවිධ කරුණු පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවිය. ඒ අනුව, ඒවා සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ගෙන් කරුණු විමසීම සහ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා උපදෙස් ලබාදීම සිදුවිය.
අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල නිලධාරීහු මෙම රැස්වීම සඳහා එක්ව සිටියහ.
