ඇෆ්ගන් පාලනය පාකිස්තාන ඖෂධ එපා කියයි
සයුරෙන් එතෙර

ඇෆ්ගන් පාලනය පාකිස්තාන ඖෂධ එපා කියයි

February 11, 2026   09:48 am

පාකිස්තානයෙන් ඖෂධ ආනයනය සඳහා පනවා තිබූ තහනම ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය විසින් බලාත්මක කර තිබේ.

තලේබාන් සංවිධානයේ මුදල් අමාත්‍යාංශය පවසන්නේ පාකිස්තානයෙන් ඖෂධ ආනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීම බලාත්මක වී ඇති බැවින් ඖෂධ අලෙවි කරන්නන්ට සැපයුම් මාර්ග වෙනුවෙන් විකල්ප සොයා ගැනීමට සිදුවන බවය.

අනවසරයෙන් සිදු කරන ඖෂධ ජාවාරමට සම්බන්ධ අයට එරෙහිව නඩු පවරන බවත්, රාජසන්තක කරන ලද භාණ්ඩ විනාශ කරන බවත් තලේබාන් පාලනය පවසයි.

දීර්ඝ කාලයක් තිස්සේ පැවති දේශපාලන ආතතීන්, දේශසීමා ගැටුම් සහ ප්‍රධාන ප්‍රවාහන මාර්ග වසා දැමීමෙන් පසුව තලේබාන් පාලනය පාකිස්තානයෙන් සිදු කෙරෙන ඖෂධ ආනයනය තහනම් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම තහනමත් සමග රටේ ඇතිවෙන ඖෂධ හිඟය පියවා ගැනීම සඳහා ඖෂධ ආනයනය සඳහා විකල්ප ප්‍රභවයන් සෙවීම වෙනුවෙන් තලේබාන් පාලනයේ නිලධාරීන් පසුගිය මාසයේ ඉන්දියාව, ඉරානය සහ තුර්කියේ සංචාරය කර තිබුණි.