නිපා වෛරසය ආසාදනයෙන් බංග්ලාදේශයේ කාන්තාවක් මරුට
February 9, 2026 03:59 pm
නිපා වෛරස් ආසාදනයෙන් බංග්ලාදේශයේ අවුරුදු 40 ක කාන්තාවක් මිය ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර ඇත.
නමුත් රෝගය ජාත්‍යන්තරව පැතිරීමේ අවදානම අඩු බව සඳහන් වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, එම රෝගියා බංග්ලාදේශයේ රාජ්ෂා ප්‍රදේශයේ නාඕගොන් දිස්ත්‍රික්කයේ පදිංචිව සිටි අයෙක් බව සඳහන් වේ.
පසුගිය ජනවාරි 21 වනදා පළමුවෙන්ම ඇයට උණ සහ ස්නායු රෝග ලක්ෂණ ඇති වූ බව පැවසේ.
ජනවාරි 28 වන දින ඇය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී සිදුකළ පරීක්ෂණවලදී උගුරේ තුවාල ඇති බව සොයාගෙන ඇත.
පසුව සිදුකළ රුධිර සහ අනෙකුත් රසායනාගාර පරීක්ෂණ මගින් තහවුරු වී ඇත්තේ ඇයට නීපා වෛරස් ආසාදනය වී ඇති බවය.
ඇයට මෑත කාලීන සංචාරක ඉතිහාසයක් නොතිබුණද, අමු රට ඉඳි ආහාරයට ගෙන ඇති බව වාර්තා වේ.
පෙබරවාරි 3 වනදා වන විට බංග්ලාදේශය ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි පද්ධතිය හරහාමේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත නිල වශයෙන් දැනුම් දුන් බව සඳහන් වේ.
සෞඛ්‍ය නිලධාරීන් රෝගියා සමඟ සම්බන්ධ වූ පුද්ගලයින් 35 දෙනෙකු හඳුනාගෙන පරීක්ෂා කර ඇති අතර, මේ දක්වා අමතර රෝගීන් කිසිවෙකු හඳුනාගෙන නොමැති බව පවසයි.
2001 සිට බංග්ලාදේශය රෝගීන් 348 ක් වාර්තා කර ඇති අතර ඉන් අඩක් පමණ අමු රට ඉඳි පරිභෝජනයට ගත් පිරිස බව සනාථ වී තිබේ.
බංග්ලාදේශයේ නීපා වෛරසය ව්‍යාප්ත වීමේ අවධානම දෙසැම්බර් සහ අප්‍රේල් අතර කාලයේ සිදුවන අතර එය නැවුම් අමු ඉදි යුෂ අස්වැන්න නෙළනා කාලය සමඟ සමපාත වන කාල පරිච්ඡේදයක් බව සඳහන් වේ.
වෛරසය සඳහා දැනට බලපත්‍රලාභී එන්නත් හෝ නිශ්චිත ප්‍රතිවෛරස් ප්‍රතිකාර නොමැති අතර රෝගය සඳහා ඉහළ මරණ අනුපාතයක් ඇති අතර එය සියයට 40 ත් 75 ත් අතර අගයක් වියහැකි බව ඇස්තමේන්තු කර ඇත.
මෙම වෛරසය වවුලන් මගින් ගෙන යන අතර ආසාදිත සතුන්ගෙන්ද පැතිර යා හැකියි.
එමෙන්ම පලතුරු හෝ අමු පලතුරු නිෂ්පාදන පරිභෝජනය කිරීමෙන් හෝ ආසාදිත පුද්ගලයෙකුගේ ශරීර තරල සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීමෙන් ද මෙම වෛරසය ආසාදනය විය හැකි බව සඳහන් වේ.
ආසාදනයෙන් දින 3ත් 21ත් අතර කාලය තුළ රෝග ලක්ෂණ මතු විය හැකි අතර, උණ, හිසරදය, ව්‍යාකූලත්වය, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා, වමනය හෝ පාචනය ප්‍රධාන රෝග ලක්ෂ වේ.
ආසියාවේ ඇතැම් ප්‍රදේශවල මෙය වසංගත තත්ත්වයට වාර්තා වී ඇති නමුත් ශ්‍රී ලංකාවේ එවැන්නක් තහවුරු කර නොමැති බව සඳහන් වේ.
1998 දී ප්‍රථම වරට නීපා වෛරසය හඳුනාගෙන ඇති අතර, වෛරසය ගෝලීය වශයෙන් වසංගත තත්ත්වයන් ඇති කර ඇත්තේ කුඩා ප්‍රමාණයක් බව සඳහන් වේ.
නමුත් මෙම වෛරසයට ඉතා ඉහළ මරණ අනුපාතයක් ඇති බව හඳුනාගෙන තිබේ.
මැලේසියාවේ සහ සිංගප්පූරුවේ ආරම්භක වසංගතයෙන් රෝගීන් 300 කට ආසන්න සංඛ්‍යාවක් සහ මරණ 100 කට වඩා වාර්තා වී ඇත.
ඒ අතර ප්‍රධාන වශයෙන් ඌරු ගොවීන් සිට තිබේ.
මේ සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් නොමැතිකම බරපතළ මහජන සෞඛ්‍ය ගැටළුවකි.
