ඇමති නලින්ද මල්වතු-අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදකී

ඇමති නලින්ද මල්වතු-අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදකී

January 17, 2026   03:37 pm

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස හා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි යන මහත්වරුන් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබේ.

එහිදි උන්වහන්සේලාගේ සුවදුක් විමසූ අමාත්‍යවරුන් අමාත්‍යංශයේ කටයුතු හා කාලීන ගැටලු පිලිබද පිලිසදරක නිරතවු බවයි සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

විශේෂයෙන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන ආරෝග්‍යා සුවතා මධ්‍යස්තාන පිහිටුවීමේ ව්‍යාපෘතිය පිළිබඳව නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා විසින් මහනාහිමිවරුන් දැනුවත් කර තිබේ.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම තුලින් බෝ නොවන රෝග වළක්වා ගැනීමට මෙන්ම රෝහල්වල තදබදය අවම කර ගැනීමට හැකියාව ලැබෙන බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත්වු රෝහල් විදේශීය ආධාර මෙන්ම රජයේ මුදල් ද යොදවා ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර හානියට පත් වු මහනුවර වත්තේගම රෝහල වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා එහිදි ප්‍රකාශ කර තිබේ.

මෙහිදී මහනුවර ජාතික රෝහල ඇතුළු ප්‍රධාන රෝහල්වල වත්මන් තත්ත්වය, අනාගත සංවර්ධන සැලසුම්, කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ නව හෘද රෝහලක් ඉදිකිරීම, අතරමග නවතා තිබූ රෝහල් ව්‍යාපෘති 62ක් නැවත ආරම්භ කිරීම, දඹුල්ල මූලික රෝහල නව ස්ථානයක ස්ථාපිත කිරීම සහ දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ රෝහල් ප්‍රතිසංස්කරණය පිළිබඳවද අමාත්‍යවරුන් කරුණු පැහැදිලි කළහ.

මීට අමතරව අධ්‍යාපන, සංචාරක, භෞතික සැලසුම් සහ ආගමික කටයුතු සම්බන්ධ කරුණු කිහිපයක් පිළිබඳවද සාකච්ඡා කර ඇති අතර, ඉන්දියාවෙන් වැඩම කරවීමට නියමිත සර්වඥ ධාතූන් වහන්සේලා ලබන පෙබරවාරි 4 සිට කොළඹ ගංගාරාම විහාරස්ථානයේ ප්‍රදර්ශනය කිරීම පිළිබඳවද මහනායක හිමිවරුන් දැනුවත් කරන ලදී.